දැන් මේ කියන්න යන්නේ අපේ හෙළ රටේ
බුද්ධකාලීනව හිටපු එක් රජෙක්ගේ පොඩි කතාවක්. පොඩි වුනාට ලොකු අර්ථයක් ඇති
ධම්මපදට්ඨ කතාවේ එන වටිනා
මහ ලොකු කතාවක්. ඒක කාටත් තේරෙන
භාෂාවෙන් කිව්වට වැරදියට හිතන්න එපා.. මොකද අපි බණ කතාවක් වුනත් අහන්න ඕනි විමර්ශණ
බුද්ධියෙන් විනා අන්ධ භක්තියෙන් නොවේ.. මිත්‍යාවේ ඉන්න සමහරුන්ට නම් මේක නයාට
අඳුකොළ වගේ වෙයිද මන්ද?
හෙළ ජම්බුද්වීපයේ කෝසල ජනපදයේ සිටි
පසේනදී(ප්‍රසන්නජිත්) රජතුමා බුද්ධ කාලයේ ඉතාම ප්‍රකට චරිතයක් තමයි. සිදුහත්
යුවරජුන්ගේ සම වයසේ හිටිය මේ ප්‍රසන්නජිත් රජතුමාට මගධාධිපති බිම්බිසාර රජතුමා
ඥාතියෙකුත් වුණා. සිදුහත් කුමරු බුද්ධත්වය ලැබුවට පස්සේ කාලෙක දවසක් කොසොල් රජතුමා
වීදි සංචාරය කරන අවස්ථාවකදී දෙවඟනක් (දේව හෙළයේ අඟනක්) වගේ ඉතාමත් සුන්දර රූමත්
කාන්තාවක් දැක්කා. ඇයගේ රූප සම්පත්තියට වශී වුණ මේ රජතුමා, ඇය
පිළිබඳ රාග සිතුවිලි ඇතිකර ගත්තා.
ඉතින් මේ සුරූපී කාන්තාව ගැන වටේ හිටි
හිතවත් අයගෙන් තොරතුරු විමසූව. රජතුමාට දැනගන්නට ලැබුණේ ඇය විවාහක බවයි. ඒ මොනව
වුනත් කමක් නෑ මේ කෙල්ළව කොහොම හරි කොටුකර ගන්න ඕනි කියල රජා හිතුවා.. ඇය තම වසඟයට
ගැනීමට පොලිටික්ස් උපායක් සැලසුම් කළා. රජතුමා ඇයගේ ස්වාමියා රජමාලිගයට කැඳවලා
ඔහුට යම් කාර්යයක් පවරුවා. රජුගේ අණ ඉටුකිරීමට අපොහොසත් වුවහොත් ඔහුට මරණය අත්වන
බවත් දන්වනවා.
ඉතින් රජ්ජුරුවොත් 'වැඩේ වැරදුනොත්
දෙඤ්ඤං උඹට' කියල හිතල තමයි මේ උගුල ඇටෙව්වේ. මේ තරුණයාට පැවරුව කාර්යය නම්, යොදුනක්
පමණ දුර පෙදෙසක තියෙන කුමුදු, නෙළුම් වර්ග වලින් මල් වට්ටියකුත් නාග
හෙළ රජදහනේ(එය සිඛී බුදුරදුන්ගේ කාලයේ අරුණාවතී නම් රාජධානිය විය) තියෙන පාෂාන
වර්ගයකුත් පැය සතරක් ඇතුළත රජමාලිගයට ගෙනෙවිත් බාරදීම තමයි.
හෝව් හෝව් පොඩ්ඩක්... මෙතන පොඩි ප්‍රශන
කීපයක් තියෙනව විසඳගෙනම යන්න ඕනි.. මුචළින්ද,
චූලෝදර,
මහෝදර වගේ නාග ගෝත්‍රිකයින් සිටි නාග
රාජධානි තිබුණේ ඉන්දියාවෙද? හෙළදිවද? "යොදුනක් දුර පෙදෙසක" කියන්නෙ
කොච්චරද? අද කියන්නෙ යොදුන = සැතපුම් 16ක් කියලනේ. සුද්ද මේක තවත් ඩබල් කරල
ඉන්දියාවේ දඹදිව සිද්ධස්ථාන හදල පෙන්නුවලු "මෙන්න බොළාලගෙ යොදුන් වලට
සිද්ධස්ථාන කියල" හිටං.
ඔන්න කණෝ පිණුම් කිව්වලු...
(ඇත්තටම "යොදුන" යනු ශක්ති සම්පන්නයෙකු හෙවත් යෝදයෙකු
විසින් දුන්නකින් විදිනා දුරය. එනම් එම දුර දල වශයෙන් සැතපුමක් පමණ විය හැකිය.
යොදුනක් කියන්නේ මෙපමණයි කියා නිශ්චිත දුරක් නොවේ. පසුකාලීනයන් මේ මිණුම
පටලවාගත්තා. සුද්දන් ඉන්දියාවේ ස්ථාන බලා යොදුන යනු සැතපුම් 32
ක් බව පවසයි. මක් නිසාදයත් ඔවුන්ගේ සිතියමට අනුව එවන් නගර ලග පිහිටා නැති බැවින්ය.
පූජාවලියට අනුව අපේ හෙළදිව දඹදිව පිහිටි සිද්ධස්ථාන වලට නම් එම දුර ප්‍රමාණ ගනනයන්
ඉතා නිවැරදි බව දරුවෙකුට වුවත් අවබෝධ වනු ඇත)
කොහොම හරි කොසොල් රජ්ජුරුවො මේ තරුණයට
දීපු ටාගට් එක සාමාන්‍ය අයෙකුට කරන්න පුලුවන් දෙයක්ම විනා කොහෙත්ම භූත ලෝක කතාවක්
නම් නොවනු ඇත. මොකද යොදුන කියන්නේ ඔය කියන සැතපුම් 16 ක් හෝ 32ක (කි.මී 25ක, 50ක)
දුරක් නම් පයින් ඇවිදල පැය 4න් එන්න පුලුවන්ද? අද
කාලේ නම් වාහනයකින් ගිහින් එන්න පුලුවන්. හැබෑට එදා ගොන් කරත්තෙකින්වත් ගියාවත්ද
මේ හාදය? ඒත් වටයක් ගහල එන්න කියල නෙමෙයිනෙ රජා කිව්වේ නියමිත බඩුත්
හොයාගෙන අරගෙන එන්න කියලනේ... අනික රජෙකුට වුනත් යමක් කරන්න පුලුවන් කම තියෙන්නේ
ජනතා අප්‍රසාදය ඇති නොවන විදියටයි. මේක යටිකූට්ටු වැඩක් වුනත් මිනිහෙකුට කරන්න
පුලුවන් ස්වරූපයක් පැහැදිළිවම එතන බාහිරින් තියෙන්නම ඕනි. මේක බුද්ධියෙන්ම නේද
තේරුම් ගත යුත්තේ..?
ඉතින් මේ අහිංසක තරුණයා පාරට බහින්නේ
වැඩේ ගැස්සුනොත් යළිත් වරක් කවදාවත් තම දයාබර බිරිඳ දකින්නට නොලැබෙන බව කල්පනා
කරමින් තමයි. දිවිහිමියෙන් පතිභක්තිය අගය කළ බිරිඳ ස්වාමියාට ආශිර්වාද කරනවා යන
ගමන සාර්ථක වෙන්න කියලා. ඉතින් තරුණයාත් කොහොම හරි වැඩේ කරගෙන එනවා කියල හිතාගෙන
උත්සාහයෙන් ගමන පිටත් වුනා. නෙළුම් මල් නම් ඉතින් අපේ හෙළ රටේ එදත් අදත් හොයාගන්න
පුලුවන් දෙයක්නේ. දන්න කියන තැන් තැන් වලට වටයක් ගහල ගිහින් නෙළුම් මල් ටික නම්
හොයා ගත්තා.. කොහොම හරි කරක් ගහල නාග හෙළ වැසියෙකුගෙත් සහාය ඇතුව මේ තරුණයා ඒ
කියපු පාෂාණ වර්ගයත් සොයා ගත්තා කියමුකෝ.
කොහොම හරි මේ තරුණයා පැය කීපයක් ඇතුළත
මල් වට්ටිය සහ පාෂාන වර්ගය අරගෙන නගර සීමාවට යළි ආවත් රජමාළිගාවේ සිද්ධ වුණේ වෙනත්
දෙයක්. නියමිත වේලාවට කලින් මේ තරුණයා අදාල දේවල් අරගෙන ආවොත් තමන්ගේ අරමුණ
ඉටුකරගන්න නොහැකිවෙන බව හිතුව රජතුමා නගරයේ දොරවල් කලින්ම වහලා දාන්නට ප්ලෑන් ගහල
අණ කරලයි තිබුනේ. රජාට ඕනි කෙල්ළ මිසක් වෙන මල් නොවෙයිනෙ කොහොමත්. ඉතින් ඒ
හෙන්චයියලත් මේ තරුණයා ඈත එනවා දකිද්දි ප්ලෑන් එකට අනුව නගරයේ දොරවල් වැහුවා.
කිසිවක් කර කියාගත නොහැකි වුණ මේ අහිංසක තරුණයා අසල තිබ්බ ජේතවනාරාමයට ගියේ
පසුවදාට එළිවුණ ගමන්ම රජ මාළිගාවට යන්න ඕනි කියල හිතාගෙනයි.
කොසොල් රජතුමාත් එදා රෑ සිරිත් පරිදි
නිදාගන්නට ගියත් මුළු රාත්‍රී කාලය පුරාම ඉතාමත් බියකරු ශබ්ද මරලතෝනි ඇහෙන නිසා
රාත්‍රිය පුරාවටම නින්දක් ලැබුණේ නැහැ. රෑ පහන් වෙනකල් ම එක එක විදියෙ භයානක ශබ්ද
ඇහුණ නිසා කොසොල් රජතුමා හොඳටම බයවුණා. ඉතා දිගු වුණ භයංකාර රාත්‍රියේ නිදිවරා
සිටිය රජතුමා එළිවෙන්නේ කොයි වෙලාවෙදැයි සිත සිතා නිදි වැරුවා.. කොහොම හරි රජ්ජුරුවො
තම අගමෙහෙසිය වුණ මල්ලිකාගේ උපදෙස් පරිදි ඒ බියජනක ශබ්ද ඇසුනේ කෙසේද යන්න දැනගන්නට
නම් තථාගත බුදුපියාණන්ගෙන් විමසන්න යන්නට තීරණය කළා.
කොසොල් රජතුමා උදෙන්ම බුදුන් වහන්සේ
හමුවන්නට ජේතවනාරාමයට ගිහින්, රාත්‍රී කාලයේ තමන්ට අහන්නට ලැබුණ භයානක
දුක් අඳෝනා සහිත ශබ්ද ගැන විමසුවා. එහිදී බුදුරජාණන් වහන්සේ මේ විදියට පිළිතුරු
දෙනවා.
"මහරජ! ඔබ බියට පත්වූයේ ලෝකුඹු නිරයේ අනන්ත අප්‍රමාණ දුක්විඳින
සිවු දෙනෙක්ගෙන් නිකුත්වන බියකරු අඳෝනා නිසාය. එදා සැවැත්නුවර විසූ ධනවත්
සිටුවරුන් සිවුදෙනෙකුගේ පුතුන් සිවු දෙනෙක්,
කාමය වරදවා හැසිරීම නිසා ලෝකුඹු නිරයට
ගොස් විඳින අනන්ත දුක් වේදනා හා අඳෝනායි ඔබට ඇසී ඇත්තේ. අන් අඹුවන්ගේ පහස සොයා
යාමේ පාප කර්මයේ විපාක, අද මේ සිටුකුමාරවරු සිවු දෙනා ලෝකුඹු නිරයේ සිට විඳීති. අන්
අඹුවන් සේවනය කිරීමට යන්නන්ට මෙවන් අසීමිත දුක් වේදනාවන්ට මුහුණදීමට සිදුවේ. මෙවන්
දුෂ්ට පාපතර ක්‍රියාවන්හි නිරතවන්නට ලැබෙන දරුණු දඬුවම් විඳින විට නැගෙන අඳෝනාවලට
තමයි ඔබ සවන් දුන්නේ"
කොසොල් රජතුමාට කරුණු පැහැදිලි වුණා.
තමා සිදුකරන්නට උත්සාහ කළේ කෙතරම් පාපතර ක්‍රියාවක්දැයි කියලා රජතුමාට ඒත්තු ගියා.
‘තථාගත බුදුපියාණන් වහන්ස! නිදි නොලබා සිටිනවිට රාත්‍රී කාලය
කෙතරම් දිග දැයි මට වැටහුණා’ යැයි පසේනදී රජු පිළිතුරු වශයෙන් ප්‍රකාශ
කළා.
ඒත් එක්කම බුදුන් වහන්සේ සහ රජතුමාට
ටිකක් ඈතින් රැඳී සිටිය අර තරුණ ස්වාමි පුරුෂයා බුදුන් වහන්සේ අමතමින් ‘අනේ බුදුපියාණනි
කුමුදුමල් සහ අරුණාවතියෙ පාෂාන සොයා ගන්නට මා යොදුනක් දුර ඇවිද්ද නමුත් එය මට මහා
දුරක් ලෙස වැටහුනා. බියවී සිටි මා ඒ ගමනින් හෙම්බත් වුණා’ යැයි
කියලා ප්‍රකාශ කරනවා. ඊටපස්සෙ අප තථාගත බුදුපියාණන් වහන්සේ රැස්ව සිටි පිරිස අමතා
සදහම් දෙසා වදාළ සේක.
"දීඝා ජාගරතො රත්ති –
දීඝං සන්තස්ස යෝජනං
දීඝො බාලානං සංසාරො – සද්ධම්මං
අවිජානතං
නිදි වරන්නාට රැය දිගය(කොසොල්
රජ්ජුරුවන්ට). ගමන් ගොස් වෙහෙසුණහට යොදුන දිගය(තරුණ ස්වාමියාට). සද්ධර්මය නොදන්නා
වූ මෝඩයන් හට සසර දිගය.
සාමාන්‍ය පුද්ගලයෙකුට එක් රැයක් යනු
සාමාන්‍ය දෙයකි. එසේම එක් යොදුනක් යනු සාමාන්‍ය වූවකි. එහෙත් වෙහෙසට පත් වී කළබල
වූවෙකුට මේ දෙකම ඉතා දිගු සේ හැඟෙනු ඇත. එම අර්ථය මෙහිදී වටහා ගනු මිස රාත්‍රිය හෝ
යොදුන ඉතා දිගය කියා ගැනීම වරදකි. අපිට වුවත් වෙහෙසී කළබල වී සිටින වෙලාවට පොඩි
දුරක් වුවත් මහා දුරක් සේ හැඟෙනවා නොවේද?
බුදුන් වහන්සේ ඉතා සරල උපමා උපමේය මගින්
සකල ලෝක සත්ත්වයාට කියා දුන්නේ ඉතාමත් වැදගත් සත්‍යයකි. එමනිසා අප කළ යුත්තේ නියම
බෞද්ධ දර්ශනය වටහාගෙන අන්ධානුකරණයෙන් තොරව පිරිසිදු ධර්මය වටහාගෙන තම ජීවිතය ගොඩ
නගාගෙන මෙලොවත් ජයගෙන මේ රුදුරු සසර ගමනින් මිදීමයි. මා මේ කරනුයේ ධර්මය විකුර්ති
කරනවාද නැතිනම් යටපත්වූ ධර්මය මතු කර පෙන්වනවා අවුල්වූ තැන් ක්‍රමාණුකූලව
ලිහාගන්නට උදව් කරනවාද කියා ඔබම බුද්ධිය යොමා වටහා ගනිත්වා.. ඔබට තෙරුවන් සරණ
පිහිටත්වා...