මැණික් තුනක් සහිත මහා නිධානයේ කතාව (සත්‍ය ගවේශණය)

ඔබ පාසල් යන අවදියේදී නින්දේදී ලස්සන සිහිනයක් දකියි. කිසියම් තැනක ඇති මහා නිධානයක් ගැන ඔබට තම මළගිය ඤාතියෙකු පවසයි.
ඔහු පවසන්නේ ඔබට ලබා ගත හැකි ඉතා වටිනා මැණික් ගල් තුනක් සම්බන්ඳවයි. ඉන් පළමු මැණික තමන් කිසියම් තැනකට ගොස් ලබාගත යුතු බවත්, දෙවන මැණික තම පොත් අල්මාරියේ ඇති මැණික් බෝතලයෙහි අව පැහැයෙන් යුත්තව තිබෙන බවත්, තුන්වන මැණික තම ඉඩමේ වැලි සමග කලවම්ව ඇති බවත් ඔහු කියයි.
 එමෙන්ම දෙවන මැණික සොයා ගතහොත් පමණක් පළමු මැණික ද සොයා ගත හැකි බවත්, පළමු මැණික සොයා දැක ගතහොත් දෙවන මැණිකෙහි ඇති අව පැහැය දුරුවී බැබලෙන බවත් ඔහු කියයි. තවද පළමු හා දෙවන මැණික් දෙකම දැක ගතහොත් තුන්වන මැණික ද පහසුවෙන්ම දැක ගතහැකි බවත් ඔහු අවධාරණයෙන් කියයි.  මෙම මැණික් තුනම ලබා ගැනීමෙන් පමණක් මහා බලයක්, වටිනාකමක් ඇතිවන බව ද ඔහු කියයි.
ඔබට මේ ඉතා වටිනා මැණික් තුනම ලබාගැනීමට වාසනාව ඇති බවත්පළමු මැණික ඇති තැනට නිසි අවබෝධයක් ඇතුව යායුතු බවත්,  එතැනට ගොස් මුලින්ම සත්‍යක්දැයි දැක බලාගැනීම ඉතා වැදගත් බවත් , ඒ සඳහා අවශ්‍ය මාර්ග තොරතුරු තම පොත් අල්මාරියේ පැරණි පොත් වල ඇති බවත් ඔහු ඔබට පවසයි.
ඔබ උදයේ අවදි වී ගොස් පොත් අල්මාරිය ඇර බලයි. මැණික් යැයි සිතා එකතු කරගත් බෝතලයද අතට ගෙන බලයි. එහි නොයෙක් නොයෙක් ආකාරයේ දුර්වර්ණ වූ ගල් ද දක්නට ඇත.
පොත් පත් පෙරලා බලන විට සිහිනෙන් කියූ ආකාරයේ නිධානය සම්බන්ධ පැරණි පොත් කිහිපයක් හමු වෙයි.  ඒ අතරම පළමු මැණික ඇති තැන සම්බන්ධ පැරණි පොත් කිහිපයක් , ඊට අදාලව මෑතකදී අඳින ලද සිතියමක් ද හමු වෙයි. ගමන යායුතු පිළිවෙලත්, ඊට පේවිය යුතු හැටිත්, අවශ්‍ය දොළ පිදේනි දෙන හැටිත්, උගත යුතු යන්ත්‍ර මන්ත්‍ර සාශ්ත්‍රත්, තවත් නොයෙකුත් වැදගත් දේත් පොත්හි සන්ඳහන් වෙයි.
අප පරම්පරාවේ වටිනා නිධානයක් ඇතැයි දෙමාපියන් කියා තිබූ කතාවද ඔබට සිහිවෙයි. එනිසා ඔබගේ විශ්වාශය තවත් වැඩිවෙයි. දැන් ඔබ සතුටෙන් උද්දාමයට පත්වෙයි. තමන්ගේ සියලු කරදර අවසාන යයි සිතෙයි. මෙය ලබා ගැනීමට යෑම ටිකක් දුෂ්කර වැඩක් යයි හැඟුණු නිසා සුදුසු කාළය හා විවේකයක් ලැබුණු පසු ගොස් එය ලබා ගන්නෙමියි සිතයි.
 කවදා හෝ ලොකු මුදලක් ලැබෙන බවට ඔබ තුල තිබෙන දැඩි විශ්වාසය නිසා ඔබට දැන් බියක්ද නැත. තම ජීවිතයට ද වැදගත් නිසා පොත්හි ඇති දේවල්ද ඔබ විටින් විට උගනියි. ඔබ අල්මාරිය හොඳින් අගුලු ලා එය ආරක්ෂා කරයි. එයට වන්දනා ගරු බුහුමන් ද කරයි. එහෙත් විශ්වාශයෙන් පොත් ටික අදහාගෙන සිටියා මිසක නිධානය තවම දැක්කේ නැත. එනිසා මුලින්ම විවේකයක් ලැබුණු පසු ගොස් පොත්හි ඇති දේවල් සත්‍යම දැයි තම දෙඇසින් දැක බළා ගෙන එන්නෙමියි සිතයි.
මේ අයුරින්මයි මෙතෙක් බුදුදහම හා ආගම සම්බන්ඳවත් දිගු කාළයක් මුළුල්ලේ සිදු වූයේ. මෙළොව පරළොව දෙකේම කරදර වලින්  මිදීමට තෙරුවන් සරණ අපට වටිනා මහා නිධානයකි.  බුද්ධ, ධම්ම, සංඝ කියන වටිනා මැණික් තුන එහි ඇත. මෙම තෙරුවන ගැන තමන්ට පවසනුයේ තම යහපත දැකීමට කැමතිව කලණ මිතුරෙකු සේ තම පසුපසින්ම එන තමන්ගේම චිත්ත ශක්තිය නම් වූ ඉෂ්ඨ දෙවියෙකි.
ඔහු කියනාකාරයට අනුව ඉන් බුද්ධ ශක්තිය නම්වූ පළමු මැණික තමන් කිසියම් තැනකට ගොස් දැක ලබාගත යුතු බවත්,  ‘ධර්ම නම්වූ දෙවන මැණික දැනුම නැමති පොත් අල්මාරියේ ඇති මැණික් බෝතලය නම්වූ ත්‍රිපිටකයෙහි අව පැහැයෙන් යුත්තව හෙවත් පැටලුම් සහගතව දැනට තිබෙන බවත්, ‘සංඝ නම්වූ තුන්වන මැණික අප අවටම පොලොවෙහි වැලි සමග කලවම්ව ඇතිවාක් මෙන් කෙළෙස් වලින් බරිතව ඇති බවයි.
 එමෙන්ම පිරිසිදු දහම තෝරා බේරා ගතහොත් පමණක් නියම බුද්ධ ශක්තිය ද හඳුනා ගත හැකි බවත් බුද්ධ ශක්තිය සොයා දැක ගතහොත් පවතින ධර්මයෙහි ඇති අවුල් සහගත තැන් දුරුවී පිරිසිදුව බැබලෙන නියම දහම හමුවන බවත් ඔහු කියයි.
තවද බුද්ධ හා ධම්ම යන ශක්ති දෙකම හොඳින් දැක හඳුනා ගතහොත් නියම සංඝ යනු කවුරුන්දැයි හඳුනා ගතහැකි බවත් ඔහු අවධාරණයෙන් කියයි. එහෙයින් තෙරුවන් යනු ශක්ති තුනක් එකට වෙලී ඇති මහා බලයක් මිස එක් ශක්තියක පමණක් ඇති බළයක් නොවේ යැයි දත යුතුය.
ඔබට මේ නියම තෙරුවන් සරණ ලබාගැනීමට වාසනාව ඇති බවත්පළමුව බුද්ධ ශක්තිය ලබාගැනීමට නිසි අවබෝධයක් ඇතුව යායුතු බවත්බුද්ධෝත්පත්තිය, බුදුවීම, පළමු දම් දෙසුම, පරිණිර්වාණය යන සිදුවීම් සුදුවූ ස්ථාන සතරට ගොස් දැක බලාගෙන බුද්ධ ශක්තිය අවශෝෂණය කිරීම ඉතා වැදගත් බවත්, ඒ සඳහා අවශ්ය මාර්ග තොරතුරු තම පැරණි ත්‍රිපිටකය ඇතුලු අනෙකුත් දහම් පොත්වල ඇති බවත් ඒවා තෝරා බේරා බලාගත යුතු බවත් ඔහු ඔබට පවසයි.
ඔබ ගොස් පොත් අල්මාරිය ඇර බලයි. දහම් පොත් යැයි කියා එකතු කරගත් ත්‍රිපිටක හා අනෙකුත් පොත්ද අතට ගෙන බලයි. එහි නොයෙක් ආකාරයේ අපැහැදිලි තැන්ද ඔබට දක්නට ලැබෙයි.
පොත් පත් ටිකක් කියවා බලන විට ඔහු කියූ ආකාරයේ තෙරුවන් සම්බන්ධ පැරණි පොත් කිහිපයක් ද ඔබට හමු වෙයි.  ඒ අතරම බුදුන්ගේ ජන්මය සිදුවූ තැන සම්බන්ධ පැරණි පොත් කිහිපයක් ද , ඊට අදාලව මෑතකදී ලියන ලද පොත් කීපයක් ද ඔබට හමු වෙයි..
 ආර්ය අෂ්ඨාංගික මාර්ගයත්, ශීලයෙහි වැදගත් කමත්, දානයන්හි ඇති වටිනා කමත්, නිවන සඳහා උගත යුතු දහම් කරුණුත්, මෙළොව ජීවිතයට වැදගත් දහම් කරුණුත් මෙම ත්‍රිපිටක පොත් පත්හි සඳහන් වුණා.
කවුරුන් හෝ කියූ නිසා හෝ කුමන ආකාරයේ විශ්වාසයක් ඇති වූ නිසා හෝ උපතින් පරම්පරාවෙන් උරුම වූ ආගම නිසා එහි විශ්වාසය තවත් වැඩි වුනා.  නිවන ලබා ගැනීම ටිකක් දුෂ්කර වැඩක් යයි හැඟුණු නිසා කවදා හෝ සුදුසු කාළය හා විවේකයක් ලැබුණු පසු එය ලබා ගන්නෙමියි සිතයි. කවදා හෝ මෙතුලින් දුකෙන් මිදෙන්නට ලැබෙන බවට ඔබ තුල තිබෙන දැඩි විශ්වාසය නිසා ඔබට දැන් බියක්ද නැත.
තම ජීවිතයට ද වැදගත් නිසා පොත්හි ඇති දේවල්ද ඔබ විටින් විට උගනියි. දහම් පොත පතින් උගත් දෙයට අනුව ආගමක් ලෙස අදහමින් එයට වන්දනා ගරු බුහුමන් කරමින්, සද්ධාවෙන් විශ්වාශයෙන් සිටිනවා මිසක තෙරුවන් නැමති මැණික් තුන කුමක්දැයි තවම නියම ලෙස දැක්කේ නැත.  පොත්හි ඇති දේවල් සත්‍යම දැයි මුලින්ම තම දෙඇසින් දැක බළා ගෙන, බුද්ධ ශක්තිය ලබා ගෙන ඒම වඩාත් උචිත යයි හැඟුණු නිසා ඊට විවේකයක් ලැබුණු පසු ගොස් ඒවා දැක බලා එන්නෙමියි සිතයි….
ඔන්න දැන් අර මුලින් හීනෙන් කියපු නිධානය බලන්නට යෑමට අවශ්ථාවක් කොහොම හරි ඔබට ලැබුණා යැයි සිතමු.  අල්මාරියේ තිබුණු පැරණි පොත් වල හැටියට නම්..  මුහුදෙන් වටවූ විශාල දූපතක පිහිටි මහා ගංඟාවකින් එගොඩ වූ පසුආදී වශයෙන් මේ කියන ස්ථානය සඳහන් විය.  එනමුත් ඔබට පොත් අල්මාරියේ තිබී මාර්ගෝපදේශන සිතියමක් හමුවූ නිසා එය බලා පහසුවෙන්ම අදාළ ස්ථානයට යා හැකි බව ඔබට ඉතා පැහැදිලිය.  දැන් ඔබ ගමනට අවශ්‍ය මුදල් ආදී සියලු දෙයද සහිතව සිතියම ද  අතට ගෙන බලා ගමන යාමට පිටත් වෙයි. 
සිතියමේ සඳහන් ආකාරයට නම් ඉතා දුර කිසියම් වූ මහා විශාල ජලාශයක් හමු වන අතර ඉන් එහා පැත්තෙනුයි ඔය කියන මහා නිධානය තිබෙනුයේ.  කෙසේ හෝ ඉතා අමාරුවෙන් සිතියමේ හැටියට ගොස් කියු ආකාරයට සමාන තැනක් ඔබ සොයා ගනියි.  තමන් සොයපු තැන මෙතනම බව ඔබ සිතට තහවුරු වෙයි. දැන් ඔබට හරි සතුටුය.  ඔබ දැන් ඉතා විශ්වාසයෙන් එතනට වන්දනා ගරු බුහුමන් ද කරයි.
කෙසේ හෝ ඔබට පහසුවෙන්ම එතැන තිබී කිසියම් මැණික් ගලක් ද, කුඩා රන් පිළිම, කරඬු ආදී තවත් නොයෙකුත් දේවල් ද එහිදී ඔබට හමුවෙයි. දැන් ඔබගේ සතුට තවත් ඉහ වහා යයි. තමන්ගේ සියලු දුක් කරදර අවසන් කර ගත හැකි බව ඔබට සිතෙයි.
හමු වූ සියලු දේම  ඔබ ඉතා විශ්වාසයෙන් නිවසට රැගෙන ගොස් සුදුසු තැනක තබා පුද පූජා කරයි. පොත් අල්මාරියේ තිබූ මැණික් බෝතලයද එතනින්ම තැබුවේය. පසු දිනෙක අමදින විට මිදුලේ තිබී හමුවු කිසියම් දිලිසෙන ගලක්ද එහිම තැබුවේය. දැන් මැණික් ගල් තුනම සම්පූර්ණයි. තමන්ට මහත් සතුටකි, ආඩම්බරයකි.
එය ආරක්ෂා කරයි. දිනපතා එයට හඳුම්කූරු දුම් අල්ලමින් වන්දනා ගරු බුහුමන් ද කරයි.  කෙසේ නමුත් මේවා නිසා තමන්ට කිසියම් ලැබීමක් ඇති බවද ඔබට වැටහෙයි. එහෙත් මේ ආකාරයට බොහෝ කළක් සිට විශ්වාශයෙන් නිදන් වස්තු ටික අදහාගෙන සිටිනවා මිසක තවමත්  ඒවා විකුණා නිසි ප්‍රයෝජනයක් ගත්තේ හෝ ගන්නට සිතුවේ ද නැත…..
ඔය ආකාරයටම තෙරුවන් නැමැති මහා ශක්ති තුනෙන් බුද්ධ ශක්තිය ලබා ගැනීම සඳහා ඊට අදාළ ස්ථාන දැක බලා ගන්නට යෑමට අවශ්ථාවක් කොහොම හරි ඔබට ලැබුණා යැයි සිතමු
දහමට සම්බන්ඳ පැරණි පොත් වල හැටියට නම්සාගරයෙන් වටවූ විශාල දිවයිනක පිහිටි මහා ගංඟා සතරකින් වෙන්වූ එක් කඳු හෙළයක පිහිටි ජම්ඹුද්වීපය නම්වූ මධ්‍ය දේශයකආදී වශයෙන් මේ කියන ස්ථානය සඳහන් විය.
  එනමුත් ඔබට දහම් පොත් අතර තිබී බුදුන්ගේ ජන්මය සිදුවූ තැන සම්බන්ධව හා ඊට අදාලව මෑතකදී පැහැදිලි ලෙස ලියන ලද සිතියම් සහිත පොත් කීපයක් හමුවූ නිසා එය බලා පහසුවෙන්ම අදාළ ස්ථානයට යා හැකි බව ඔබට ඉතා පැහැදිලිය. දැන් ඔබ ගමනට අවශ්ය මුදල් ආදී සියලු දෙයද සහිතව සිතියම ද  අතට ගෙන බලා ගමන යාමට පිටත් වෙයි. 
සිතියම් සහිත පොතේ සඳහන් ආකාරයට නම් මහ මුහුදෙන් එහා ඉන්දියාව නම් වූ බුද්ධිමතුන් බිහිවන විශාල රටක් ඇති අතර එම රටෙයි බුදුරදුන් වැඩ සිටියේ. දැන් නේපාලය කියන රටේයි සිදුහත් කුමරු ඉපදුනේ. පෙර මේ දෙරටම එකකි. එනිසා සියලුම දඹදිව සිද්ධස්ථාන පිහිටියේ මේ භාරත දේශයෙහිය.
ඔබගේ දෙමව්පියන්ද, ඔවුන්ගේ දෙමව්පියන්ද මේ දඹදිව ගොස් සිද්ධස්ථාන වැඳ පුදා ගත් බව ඔබ හොඳින් දන්නා නිසා ද ඔබට එහි කිසිඳු සැකයක් නැත.
 කෙසේ හෝ ඔබ ඉතා ලොකු පරිශ්‍රමයක් හා ලොකු මුදලක් වැය කොට ඉන්දියාවට ගොස් දඹදිව සිද්ධස්ථාන දැක ගනියි.  බුදුන් වැඩ සිටි තැන මෙතනම බව ඔබ සිතට තහවුරු වෙයි. දැන් ඔබට හරිම සතුටුය.  ඔබ දැන් ඉතා විශ්වාසයෙන් ඒ ඒ තැනට වන්දනා ගරු බුහුමන් ද කරයි.
කෙසේ හෝ ඔබ එහිදී බෝපත්‍ර, කුඩා බුදු පිළිම, දා කරඬු ආදී තවත් නොයෙකුත් දේවල් ද ලබාගෙන විශ්වාශයෙන් ආපසු ගෙදර එයි. දැන් ඔබගේ සිතෙහි සතුට තවත් වැඩිය. තමන්ට මහත් පිණක් රැස් වුණා යයි ද ඉන් දුක් කරදර අවසන් කර ගත හැකි වෙතැයි ද ඔබට සිතෙයි.
 ඔබ ඉතා විශ්වාසයෙන් රැගෙන ආ පිළිම ආදිය සුදුසු තැනක තබා පුද පූජා පවත්වයි. පන්සල් වලටද ගොස් චෛත්‍ය, බෝධි, පිළිම ආදියට ද, පැවිදි හිමිවරුන්ට ද වඳිමින් පුදමින් බොහෝ පිංකම් කර ගනියි. ඒවා හොඳින් ආරක්ෂා කරයි. දිනපතා ඒවාට මල් පහන් හඳුම්කූරු ආදී පූජාවන් කරමින් වන්දනා ගාථා කියමින් ගරු බුහුමන් ද කරයි. තමන්ට තෙරුවන්ගේ සරණ ඇති බවට ඔබ දැන් හොඳින්ම විශ්වාස කරයි. එය තමන්ට මහත් සතුටකි, ආඩම්බරයකි.
 කෙසේ නමුත් මෙම පුද පූජා ආදී දේ නිසා තමන්ට කිසියම් ලැබීමක් ඇති බවද ඔබට වැටහෙයි.  තෙරුවන් නැමති වටිනා වස්තු සම්භාරයක් තිබෙන බවට ඔබ තුල ඇති දැඩි විශ්වාසය නිසා ඔබට ප්‍රීතියක් ඇතිවාක් මෙන්ම දැන් ඔබට බියක්ද නැත. මෙලෙස දිගු කාළයක් තිස්සේ බුද්ධාගම නාමයෙන් විශ්වාශයෙන් මෙම ආගමික පූජා වස්තු අදහාගෙන සිටිනවා මිසක තවමත් ඒවායින් නිසි ප්‍රයෝජනයක් ගත්තේ හෝ ගන්නට සිතුවේ ද නැත…..
නැවතත් අර මුලින් සිහිනෙන් කියපු නිධානයෙන් ලබාගත් වස්තුවෙන් ප්‍රයෝජනයක් ගන්නට ඔබට සිතුනා යැයි සිතමු. කිසියම් කරදර ටිකකින් මිදීමට හෝ ආර්ථික අඩුපාඩු කම් ටිකකින් මිදීමට හෝ  කිසියම් බළාපොරොත්තුවක් ඉෂ්ඨ කර ගැනීමට අවශ්‍ය නිසා වටිනා නිදන් වස්තු සම්භාරයෙන් කිහිපයක් විකුණා ගැනීමට දැන් ඔබට අවශ්‍ය වෙයි.
දැන් ඔබ ලඟ ඇති රන් පිළිම හා රන් කරඬු ටික රැගෙන සුදුසු වෙළෙන්දෙකු ලඟට යයි. වෙළෙන්දා ඒවා හොඳින් පරීක්ෂා කර බලා මේවා අනුකරන(ඉමිටේෂන්) ඒවා බවත් එනිසා වැඩි වටිනා කමක් නැති බවත් කියයි. ඔබ දැන් කේන්තියෙන් පුපුරමින් වෙළෙන්දාට හොරා යැයි බණිමින් භාණ්ඩත් රැගෙන වෙනත් වෙළෙන්දකු ලඟට යයි. ඔහුද ඒවා පරීක්ෂා කර බලා එසේම කියයි. ඔබ දැන් තවත් වෙළෙන්දකු ලඟට යයි. ඔහුද ඒවා පරීක්ශා කර බලා නොවටිනා බව කියයි. එහෙත් ඔබ ඔවුන් කියන දේවල් පිළිගන්නට තවම සූදානම් නැත.
ඔබ ටිකක් කණස්සල්ලෙන් ගෙදර ගොස් කල්පනා කරයි.  සමහරවිට කවුරුන් හෝ මේවා මාරු කරන්නට ඇත.. එසේ නැත්නම් මේවා ඉතා පැරණි නිසා හොඳ රත්‍රන් නොවනු ඇත.. එසේත් නැත්නම් මගේ වරදක් නිසා හෝ වෙනයම් හේතුවක් නිසා හෝ කිසියම් අමනුෂ්‍ය බලපෑමක් නිසා මේවා මෙසේ වන්නට ඇත… ආදී වශයෙන් ඔබ නොයෙක් දේ සිතයි.  කොහොම හරි තමන් ලඟ වටිනා මැණික් ගල් තුනක් තිබෙන බව දන්නා නිසා ඔබට යම් අස්වැසිල්ලක් දැනෙයි.
මිදුලේ තිබී හමුවූ තුන්වන මැණික් ගල (සංඝ) පමණක් විකිණීමට දැන් ඔබ තීරණය කරයි. එය රැගෙන ඔබ මැණික් වෙළෙන්දෙකු ලඟට යයි. මැණික් වෙළෙන්දා එය හොඳින් පරීක්ෂා කර බලා මෙය නියම මැණික් නොවන බවත් එනිසා වැඩි වටිනා කමක් නැති බවත් ඔබට කියයි.
එවිට ඔබ ක්‍රෝධයෙන් පුපුරමින් වෙළෙන්දාට බණිමින් මැණික් ගල් ද රැගෙන වෙනත් වෙළෙන්දකු ලඟට යයි. ඔහුද ඒවා පරීක්ෂා කර බලා එසේම කියයි. ඔබ දැන් තවත් වෙළෙන්දකු ලඟට යයි. ඔහුද ඒවා පරීක්ෂා කර බලා නොවටිනා බව කියයි. එහෙත් ඔබ ඔවුන් කියන දේවල් පිළිගන්නට තවමත් මැළි වෙයි.
ඔබ ඉතා කණස්සල්ලෙන් හා දෙගිඩියාවෙන් ගෙදර ගොස් කල්පනා කරයි.සමහර විට මිදුලේ තිබී හමුවූ නිසාත් කුමන හෝ හේතුවක් නිසා තවම මෙය නියම මැණික් තත්වයට පත් නොවන්නට ඇත..යි ඔබ සිතයි.  කොහොම හරි තමන් ලඟ තව වටිනා මැණික් ගල් දෙකක් තිබෙන නිසා ඔබට යම් අස්වැසිල්ලක් දැනෙයි.
බෝතලයේ ඇතැයි කී අව පැහැයෙන් යුතු දෙවන මැණික් ගල (ධම්ම) කුමක්දැයි ඔබට තවම හඳුනා ගැනීමට නොහැකි වූ නිසා පළමු මැණික් ගල (බුද්ධ) විකිණීමට දැන් ඔබ තීරණය කරයි. මෙම පළමු මැණික් ගල නම් තමන් නිධානයෙන්ම ලබාගත් වටිනාම එක බව ඔබ හොඳින්ම දනියි.
හොඳ වෙලාවක් බලා ඔබ එය රැගෙන පිළිගත් මැණික් වෙළෙන්දෙකු ලඟට යයි. මැණික් වෙළෙන්දා එය හොඳින් පරීක්ෂා කර බලා මෙය නියම මැණික් නොවන බවත් එනිසා වැඩි වටිනා කමක් නැති බවත් ඔබට කියයි. එවිටද ඔබ ක්‍රෝධයෙන් ආවේශ වී වෙළෙන්දාට බණිමින් මැණික් ගල ද රැගෙන තවත් වෙළෙන්දන් කීප දෙනෙකු ලඟට ගියද ඔවුන්ද ඒවා පරීක්ෂා කර බලා නොවටිනා බවම කියයි. එහෙත් ඔබ ඔවුන් කියන දේවල් පිළිගන්නට තවමත් මැළි වෙයි. ඔබ ඉතා දැඩි කණස්සල්ලෙන් හා දෙබිඩියාවෙන් ගෙදර ගොස් කල්පනා කරයි… 
මේ මැණික් වලට මොකද වුනේ.. අමනුෂ්‍යයෙක් පැමිණ වෙනස් කළාවත්ද.. නැතිනම් මේවායෙහි කල් ඉකුත් වෙලාද.. සමහරවිට මේවා නොවටිනවා වෙන්නත් පුලුවන්.. එතකොට හීනෙන් මළගිය ඤාතියා කීවේ බොරුවක්ද.. මම මෙතෙක් කාලයක් රැවටුනා වත්ද.. දැන් මම කොහොමද රටට මුහුණ දෙන්නේ.. මෙතෙක් කල් මේවාට කරපු වැඳුම් පිදුම් වල හරය කුමක්ද.. මට කුමක්ද මේ වුනේ.. මගේ බලාපොරොත්තු සියල්ලම විනාශ වෙනවා.. මම බලන් ඉන්නේ කොහොමද.. අහෝ දෙවියනේ.. ආදී නොයෙක් දේ සිතමින් කියමින් ඔබ වැලපෙයි, දැවෙයි, තැවෙයි…
(දැන් ඔබ අවුරුදු කාලයක් තිස්සේ ආරක්ෂා කරමින් ගොඩ නගාගත් ලෝකය විනාශ වෙන්නට පහසුවෙන් ඉඩ දෙන්නට ඔබට නොහැකිය. එනිසා ඔබේ සිත මෙහිදී සවිමත් නොමැති නම් ඔබ කෘතිමව මවා ගත් ලෝකයක තනි වෙන්නට උත්සාහ කරනු ඇත. එවිට ඔබ මේ රන් මැණික් අදී සියල්ලම ඉතා වටින ඒවා බවට පෙර ලෙසම සිතින් විශ්වාස කරගෙන කටයුතු කරන්නට ප්‍රයත්න දරණු ඇත).
කෙසේ හෝ ඔබ වෙහෙසට පත්වී කැළඹුණු සිතින් යුත්තව නින්දට වැටෙයි. එම නින්දේදී නැවතත් අර තම මළගිය ඤාතියා සිහිනෙන් පැමිණ යමක් කියයි. ඔහු පවසනුයේ අවුරුදු සියයකට පෙරදී කිසියම් බහිරවයෙකු විසින් පළමු මැණික් ගල සහිත නියම නිධානය තිබෙන තැනට ඇති මග සළකුණු වෙනස් කර, ඊට අනුරූපීව තවත්  දුර ස්ථානයක ව්‍යාජ නිධානයක් පෙන්වා දුන් බවත්, ඔබ මෑතකදී අඳින ලද සිතියම බලා ගියේ එම වැරදි තැනට බවත්ය.
එසේම නියම නිධානයට යන මග අල්මාරියේ ඇති පැරණි පොත්වලින් හෝ ශිලා ලේඛණ වලින් හෝ අධිමානසික චිත්ත බළයක් ඇති අයෙකුගෙන් අසා සොයා ගත යුතු බවත්, ඔය කියන නිධානය ඇත්තේ ඉතා ලඟ බවත්,  පළමු මැණික් ගල නිවැරදිව දුටුව හොත් අනෙක් මැණික් ගල් දෙකද ප්‍රත්‍යක්ෂවම දැක ගත හැකි බවත් ඔහු නැවතත් අවධාරණයෙන් යුතුව පැවසීය.
දැන් ඔබ සිහිනෙන් අවදි වෙයි. තමන් මෙතෙක් කාලයක් වැරදි මගක ගිය බව අවබෝධ වෙයි. එහෙත් ඔබගේම කිළිටි වූ යටි සිත මේ සත්‍ය පිළිගැනීමට ඉඩ නොදි ඔබ සමග සටන් කරයි.
මෙහිදී ඔබට ප්‍රධාන වශයෙන් සිතුවිලි තුනක් පැන නගියි.
1. මට මේව එකක්වත් හොයල වැඩක් නෑ, මේ ඔක්කොම මනස්ගාත විතරයි, තමන්ට තමන් විතරයි, වෙන සරණක් නෑ, සිතින්ම පමණක් හැම දියුණුවක්ම හදාගන්න පුලුවන්...
2. මම මෙතෙක් කාලයක් තිස්සේ කරගෙන ගිය දේවල් වෙනස් කරන්න බෑ, ඒව ඒ විදියටම ආරක්ෂා කරගෙන යනව. දෙවැනි මැණික තියෙනවනම් ඒ ඇති. බුද්ධිය විශ්වාසය හා සිත පමණයි දියුණුවට වැදගත්...
3. ඔව් මට වැරදුනා තමයි, කාටත් වැරදීම් මුළා වීම් සිදුවෙනව. දැන්වත් එය තේරුම් අරගෙන නිවැරදි කර ගන්නවනැවත මුළ ඉඳන් ගොස් නිධානය අරගෙන දියුණු වෙලා කෙසේ හෝ ජය ගන්නව...
මෙම ප්‍රධාන සිතුවිලි තුන නම් පිළිවෙලින් ඍනාත්මක, උදාසීන හා ධනාත්මක ලෙස හඳුන්වන්න පුලුවන්.

මේ අයුරින්ම මෙම කතාව බුද්ධ, ධම්ම, සංඝ කියන තෙරුවන ගැනත් සසඳා බලන්න. එවිට ඔබට සත්‍ය වැටහෙයි.
අප බොහෝ කලක් තිස්සේ වැඳුම් පිදුම් කරමින් බුද්ධාගම අදහාගෙන හිටියත් බුදු දහමින් නියම ඵල ප්‍රයෝජනයක් ගන්නට වෙලාවක් තිබුණෙ නැහැ. සසර දුකින් මිදීමට මග වැඩීමට හෝ මෙළොව ජීවිතය යහපත් කර ගැනීම සඳහා දහමේ හැසිරෙන්නට ඔබට අවශ්‍ය කාලය දැන් පැමිණියා යයි සිතමු.
දැන් ඔබ දහම් පොත් පත් ද කියවා බලමින් තමන් මෙතෙක් කල් සිදු කර ගත් පිංකම්ද සිහිකර ගෙන සිල් රකිමින් නිදහසේ භාවනා කටයුතු වල නියැලෙයි.
මෙසේ කාලයක් තිස්සේ මහත් කැප වීමෙන් යුතුව බණ භාවනා කළ නමුත් යහපත් ප්‍රතිඵලයක් ගන්නට නොහැකි විය. එනිසා ඔබ සියලු සූත්‍ර පිටකයත්, විනය පිටකයත් කියවා බලා නැවතත් මහත් කැප වීමෙන් සිල් රකිමින් බණ භාවනා කරයි. මෙසේද කළක් ගතවී ගිය නමුදු තමන්ට අඩුම තරමින් සෝවහන් ඵලය වත් ලබා ගන්නට නොහැකි විය. ලබා ගත් කෙනෙකුද සොයා ගන්නට නොහැකි විය.
දැන් ඔබට දහම පිළිබඳවද කිසියම් ගැටලු සහගත තත්වයක් පැන නගියි. ඔබ දැන් මෙසේ සිතයි.  ....මා හොඳට සියලු සූත්‍ර, විනය ආදී දහම් පොත් පත් ද ඉගෙන ගත්ත.. ශීලයද හොඳින් ආරක්ෂා කළා.. ඉන්දියාවෙ ගොස් සියලු බෞද්ධ සිදධස්ථානත් වැඳ පුදා ගත්ත.. අනෙකුත් පිංදහම් කටයුතුත් මනාව සිදු කළා.. ඉතා වීර්‍යයෙන් කාළයක් භාවනාත් කළා.. එසේනම් ඇයි මට මග ඵල ලබාගන්නට නොහැකි... ආදී වශයෙන් සිතයි.   කෙසේ හෝ ඔබ නැවතත් මෙසේ සිතනවා  ...නිවන දැකීම  හෝ මගඵල ලැබීම මේ කාළයේ ලබාගත හැකි දෙයක් නොවේ.. මෙය කාටවත් කළ  නොහැකිය.. එය මේතේ බුදුන්ගේ කාලයේදී ලබා ගැනීමට හැකි දෙයකි.. එනසා දැන් අපට කළ හැක්කේ එතෙක් මෙළොවදී වත් පිළිවෙත් හා පිංදහම් සිදු කරමින් මරණින් මතු ගොස් සුගති ලොවක ඉපදීම පමණයි.. අනෙකුත් අයටද මෙය තේරුම් කළ දිය යුතුයි…  යනුවෙන් සිතයි.  
ඉතින් මේ ආකාරයට ඔබ ආගමටත් දහමටත් නැඹුරුව කටයුතු කරගෙන යන අතර දිනක් යමෙකු පැමින දඹදිව කියන්නෙ ලංකාවට බවත්, බුදුරදුන් සිටියේ ලංකාවේ බවත්, ත්‍රිපිටක දහම් පොත් පත්වල යම් යම් තැන් වැරදි සහගත බවත්, ඒ බව සිල්වත් භික්ෂුවක් පැවසූ බවත් ඔබට කියයි. එහිදී ඔබ මහත් වූ කේන්තියෙන් කොහෙද යන පිස්සෙක් කියමින් ඔහුටත්  ඒ බව කියුවා යැයි කියන භික්ෂුවටත් හොඳටම බැන වදියි.
මෙසේ තවත් අවශ්ථා කීපයකදීම කීප දෙනෙක්ම ඉහත ලෙසින්ම  බුදුරදුන් සිටියේ ඉන්දියාවේ නොව ලංකාවේ කියා කියන සිද්ධිය ඔබට කියයි. තවද ඉඳහිට රූපවාහිනී වැඩසටහනකත්, පොතකත්, අන්තර්ජාලය තුලත් මේ පුවත ඔබ දැක ඇත. එහෙත් ඔබ ඔවුන් කියන දේවල් පිළිගන්නට තවම සූදානම් නැත.
තවත් එක්තරා දිනක තමන් පිළිගන්නා භික්ෂුවක්ද  අපට දහම පටැලවී ඇති බවත් එය නිවැරදි කරගත යුතු බවත් දඹදිවනම් අප ලක්දිවම කොටසක් බවත් පවසයි. එහිදීත් ඔබ 'ඕවා හිතලු බණ' කියමින් මගහැර යයි. එනමුත් දැන් ඔබට මෙම කරුණ පිළිබඳව කිසියම් දෙබිඩියා සහගත තත්වයක් පැන නගියි. ඔය අතර ඔබ මේ සම්බන්ඳව පොත් පත් වලින්ද ටිකක් කරුණු සොයා බලයි. එහිදී මේ කියන දේවල් වල කිසියම් ඇත්තක්ද ඇති බව ඔබට වැටහෙයි.
 එහෙත් ඔබේ යටි සිත මේවා පිළිගැනීමට ඇති හැකියාව නිරතුරුවම ඔබෙන් වළකාලන්නට ප්‍රයත්න දරයි. ඔබෙන් මග හරවාලන්නට සැරසෙයි.
ඔබ අවුරුදු කාලයක් තිස්සේ ආරක්ෂා කරමින් ගොඩ නගාගත් ලෝකය විනාශ වෙන්නට පහසුවෙන් ඉඩ දෙන්නට ඔබට නොහැකිය.
මෙතෙක් මහත් කාලයක් තිස්සේ කරපු කියපු වැඳුම් පිදුම් වල හරය හිස් වන්නට ඉඩ හැරිය නොහැකියි. තමන් රැවටී ඇති බව පිළිගත නොහැකිය. මම කොහොමද රටට මුහුණ දෙන්නේ යැයි සිතෙයි.  මෙලෙස නොයෙක් ආකාරයේ බොහෝ ගැටලු රාශියකට මුහුණ දෙන්නට සිදුවෙයි. මෙහිදී ඇතිවන වේදනාව තමන් වඩාත්ම ආදරය කළ කෙනෙකු මිය ගිය විටදී ඇතිවන වේදනාවට හා සමාන යැයි කීවොත් නිවැරදියි.
එනිසා ඔබේ සිත මෙහිදී සවිමත් නොමැති නම් ඔබ කෘතිමව මවා ගත් ලෝකයක තනි වෙන්නට උත්සාහ කරනු ඇත. එවිට ඔබ සිතන්නේ බුදුන් කොහේ සිටියත් මොකද වෙන්නේ, අපේ සිතයි වැදගත්, දහම තියෙනවනම් ඇති, ආදී වශයෙන් සිතාමින්, සත්‍ය වසන්කොටසත්‍ය පසෙකට දමමින්අරමුණු වලට වහල්වී, මෝහයෙන් මුළාවී, අවිද්‍යාවෙහිම ගිලෙමින්, අඳුරෙන් එළියට නොයා,  පෙර ලෙසම සිතින් විශ්වාස කරගෙන මවාගත් ලෝකයක සිරවී කටයුතු කරන්නට උත්සාහ දරණු ඇත.
මෙහිදී බොහෝ දෙනා දහම දන්නවා යැයි කීවාට, අනුන්ට සසරෙන් ගැලවෙන හැටි කීවාට, අනුන්ට කෙළෙස් සිඳලන්න යැයි කියා දුන්නාට.. තමන් මෙතැනින් බේරී, බුදුන් දහම් සඟුන් යන තෙරුවන් කවුරුන්දැයි හරි හැටි හඳුනාගෙන සත්‍ය දහම තේරුම් බේරුම් කර ගෙන මෙලොව පරලොව දෙකෙහිම දුකින් මිදීමට තමන් උත්සාහ නොකිරීම නම් විශ්මයට කරුණකි.

පිරිසිදු බුදු දහම සොයා යන සියල්ලෝම මෙම පහත වෙබ් අඩවි තොරතුරු වෙත නිහතමානීව ගොස් නිර්මල බුදුදහම  සොයා මතුකර ගනිත්වා...
සදහම් දේශනා 
නිරපේක්ෂත්වයේ මග
පරම සත්‍ය

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive