හෙළයේ මහා සම්මත මනු පරපුර, ගෝතම බුදු සසුන දක්වා...


ඔන්න එහෙනම් අපේ ඉතිහාස අවුලේ අමාරුම ගැටය මෙතනින් හෙමින් ලිහාගන්න..
විශේෂ දැන්වීම - මෙම ඉතිහාස කතාව සම්මත පාසල් විෂය නිර්දේශයට වෙනස් කතාවක් වන බැවින් විභාග වලට පෙනී සිටින සිසුන් උත්තර හැටියට මෙහි අන්තර්ගත දේ නොලියන ලෙස දන්වා සිටින අතර සම්මතයෙන් ඔබ්බට සිතා පිරිසිදු බුදුදහම හා සත්‍ය ඉතිහාසය සොයා යන නැවණැති අයට පමණක් ඉතා වැදගත් වන බව සඳහන් කරමු.
     මහා මුනීන්ද්‍ර වූ අපගේ සර්වඥයන් වහන්සේ මහා සම්මත රාජවංශයෙහි මෙම කල්පය ආරම්භයෙහිදී මහා සම්මත නම් රජුව සිටියාහ. අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් සත්ව ලොව පහළ වීමේ කතාවට අනුවද හෙළ බිමේ පළමු රජු ලෙස හැදින්වෙන්නේ මහා සම්මත මනු රජුය. පංචකාමයට ඇලුනු සුර කියන දේව ජනයන්ගෙන් සමහර පිරිස් පහත් අයුරින් විෂමාචාරීව කටයුතු කරන්නට ටිකෙන් ටික  පෙළඹුනා. ඔවුන් පංච ශීලය ආරක්ෂා කළේ නෑ. එනිසා ධර්මවාදි කවුරුත් එකතු වෙලා මොවුන්ගේ අධර්මවාදි කම් පාළණය කරන්නට පාළකයෙක් පත් කරන්නට තීරණය කළා.  
      මහා සම්මතයෙන් රටට රජ කෙනක් තෝරන අවස්ථාවේ, මනු නැමැත්තා තම දස්කම් පෙන්වා මහජන මතයට අනුව රටේ කිරුළට හිමිකම් කීවා. ඔහු අංගම් සටනේ සුරයෙක් බවටද සඳහන් වෙනවා. එතැනින් ඇරඹි මේ මනු රජ පරපුර ක්ෂත්‍රිය වංශිකයන් බවට පත්වූහ. මේ අයටම මනුස්ස කියාද තවත් තැනකදී අසුර කියාද කියනවා.
    රෝජ, වරරෝජ, කල්‍යාණ.. ආදී ලෙසින් මේ මනුරජ පරපුර ඉදිරියට පැමිණියා.  බ්‍රහ්මදත්ත, මඛාදේව, නාගසේන, කුස, දසරථ, ඔක්කාක, වෙස්සන්තර, කනශ ආදී රජවරුද මෙම මනුරජ පරපුරෙන්ම පැමිණි අය වූවාහ. මෙසේ පැමිණි රජවරු අතරින් කාශ්‍යප බුදුරදුන් පහළවී කාළයක් යනවිට ජයසේන(දෙව්දහ) නම් රජෙක් මේ හෙළදිවේම පිහිටි ජම්බුද්වීපයේ සිටියේය. ඔහුගෙන් ශාක්‍ය වංශයේ ආරම්භ විය. ඔහුගේ රාජධානිය වූයේ දෙව්දහ නුවර හා කපිලවස්තු පුරයි. ජයසේන රජුගේ පියා කුම්බා රජු වූ අතර සීයා කනශ රජු විය.
      මේ ජයසේන රජුට සීහහනු නම් පුතෙක්ද මහා යශෝධරා නම් දුවෙක්ද විය. ජයසේන රජුගේ පුත්වූ මෙම ක්ෂත්‍රිය හෙවත් ශාක්‍ය වංශික සීහහනු රජු රාජ්‍ය මෙන්ම නාවික වැනි වෙළඳ කටයුතු වලදී සිංහ රූප ලාන්ඡන යොදාගෙන ඇත. කෙසේ හෝ මේ සීහහනු රජුගේ රාජධානිය වූයේ කපිල වස්තුපුර හෙවත් කිඹුල්වත් පුරයයි. (කිඹුලෙකුගේ හැඩය ගත් පර්වතයක් නිසා එම නුවරට එනම් විය)
        සීහහනු රජුගේ සොයුරිය වූ මහා යශෝධරා දේවිය අංජන රජු හා විවාහවී දෙව්දහ නුවරම රජකම් කරමින් විසීය.   
        සීහහනු රජුගේ බිසව කාංචනා හෙවත් කච්චායනා නම් විය. එසේම ඔහුට සුද්ධෝදන, ශුක්ලෝදන, දෝතෝදන, අමිතෝදන, මිතෝදන නමින් පුතුන් පස් දෙනෙක්ද අමිතා, ප්‍රමිතා නමින් දූවරු දෙදෙනෙක්ද විය.

         ඉතින් මේ සීහහනු රජුගේ එක් මුණුපුරෙකු සීදන්ත හෙවත් සිද්ධාර්ථ කුමරු විය. එනම් සිද්ධාර්ථ කුමරුගේ පියා සුද්ධෝදන රජු විය.
සිද්ධාර්ථ යුවරජ කුමරු තම අමිතා නැන්දනියගේ දුවණියවූ ගෝපා කුමරිය හෙවත් යශෝධරා කුමරිය සමග විවාහ විය. තම සීයා වූ සීහහනු රජුගේ නාමයෙන් අනුවර්ත සීහ යන නමද මේ සීදන්ත රජ කුමරුට ආදේශ විය. සක්විති රජකමටද සුදුසුකම් තිබූ මේ සීදන්ත රජ කුමරු එය පසෙක දමා පසුකලෙක මේ හෙළ ධරණි තලයේදී උතුම් ලොව්තුරා බුද්ධත්වයට පත්වී සීහළ වංශයේ නව නිර්මාතෘවරයාණන් බවටද පත්වී වදාළහ.
       ගෝතම බුදුරජාණන් වහන්සේ සක්විති රජ කෙනෙකුන් මෙන්ම ඉන් එහා ගිය බුදුවරයෙකුද වූ බැවින් දිවයිනේ සිටි සියලු දේව, මනුස්ස, අමනුස්ස රජවරුන්ගේ නොහොත් සුර අසුර රජවරුන්ගේ නායක මහ රජුන් බවට ඒකමතිකව සියල්ලෝම එදා පිළිගත්තාහ. එතෙක් කලක් බෙදී තිබුනු සියලු ජන කොටස් එක් සේසත් කළේ ඒ ශාක්‍ය මහා මුණීන්ද්‍රයාණන් වහන්සේමය.
       එසේම මේ බුද්ධ කාළයේදී කිඹුල්වත් පුර හා දෙව්දහ නුවර රාජධානි දෙකට අමතරව අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල.. ආදී වශයෙන් තවත් ජනපද දහසයක් පමණ වෙනත් රජවරුන් යටතේ මේ ජම්බුද්වීප කොටසේ රාජ්‍ය පාළනයන් ගෙන ගිය බවද මෙහි අප මතක තබා ගත යුත්තකි. එහිදී මගධයේ සිටි බිම්බිසාර රජු හා කෝසලයේ සිටි පසේනදී රජු බලවන්තයින් වූහ. එසේම ජම්බුද්වීප කොටසේ ඉහළ භූමි භාගවල දේව ජනයා සිටි දේවහෙළ කොටසක්ද විය.
       ඉන් පරිබාහිරව යක්ක, නාග, කුම්භණ්ඩ, ගන්ධබ්බ නමින් තවත් ජන කොටස් 4ක් රාජ්‍ය පාළනයන් ගෙන ගිය බවද දත යුතුයි. එහි ප්‍රධාන මහරජු වෙසමුණි හෙවත් වෛශ්‍රවණ රජුවූ අතර, ඔහුගේ රාජධානිය වූයේ උතුරුකුරු දිවයින නම් වූ ආලක මන්දාව නම්වූ යක්ක පුරයයි. අලංකාර පුරය නමින්ද හැඳින්වූ මෙයටම පසුව ලංකා පුරය කියාද කියන ලදහ. අද ලංකාව කියා අප මුළු දිවයිනටම කියන්නාක් මෙන්ම සමහරුන් එදා පොදුවේ මේ වෙසමුණි මහ රජුගේ මුළු රාජධානියටම ලංකා පුරය කියා කීවාහුය.
      එවකට ලංකා පුර කොටසේ පිහිටි මහියංගණ රාජධාණියද පනිත රජුගේ පාළනය යටතේ පැවති අතර එහි භාණ්ඩාගාරිකා වශයෙන් ප්‍රාදේශීය පාලකයෙකු වූ සමන් දේවයන් කටයුතු කර තිබෙනවා. පසුව ඇතිවූ දේශපාළන ආරවුල් නිසා ඔහු සබරගමුවට ගොස් වාසය කලා. බුද්ධත්වයෙන් 9 වන මස බුදුරදුන් මහියංගනයට වැඩම කොට එහි තිබූ යුධ ගැටුම් මෙල්ල කොට සමන්ගිරට වැඩ සිරිපතුල් පිහිටුවා මෙය බුද්ධ භූමිය බවට සියල්ලන්ට දන්වා තම මාමා වූ සමන් දෙව්ට එම ප්‍රදේශය බලාකියා ගැනීමට බාර කළ බවද සඳහන්ය.
      සුමන සමන් රජුගේ දෙටුපුත් දමරජ(යමරජු) වූ අතර ඔහුගේ පුතු මහාතිස්ස නම් විය. මහාතිස්ස රජුගේ දියණිය වූයේ අබිසවෙර දේවියයි. ඇය දඹදිව කොටසේ සිටි ගෝඨාබය රජුගේ පුත් තිස්ස රජු හා විවාහ වූවාය..
      සුද්ධෝදන රජුගෙන් පසු එම රජකමට උරුමකම් කියන සියලු දෙනාම පැවිදිවූ බැවින් රජ කිරුළ සඳහා කිසිවෙක් නොවීය. එහෙත් සුද්ධෝදන රජුගේ මළනුවන් වූ අමිතෝදන රජුට පණ්ඩුශාක්‍ය යයි පුතෙකු සිටි බව අප දනිමු. මේ පණ්ඩුශාක්‍ය රජුට දීඝායු ඇතුලු පුතුන් සත් දෙනෙක්ද, භද්දකච්චායනා නමින් එක් දියණියක්ද විය.
       භද්දකච්චායනා කුමරිය තම පරපුරට ඤාති සම්බන්දයක් ඇති පණ්ඩුවාසදේව නම් රජෙකු සමග විවාහ වූවාය.  මේ පණ්ඩුවාසදේව නමින් අභිෂේක ලැබුවේ ලංකාපුරයේ පිහිටි තම්මැන්නාවේ සිටි  විජය නම් වූ රජුමයි. පණ්ඩුවිජයාගම හෙවත් පඬුවස්නුවරදී භද්දකච්චායනා දේවිය හා විවාහවී පණ්ඩුවාසදේව නමින් රාජාභිෂේක ලබන්නට අවුරුදු 38කට පමණ කලින් මේ හිතුවක්කාර විජය කුමරුවා තම්මැන්නාව ආක්‍රමණය කලා. ඔහු එහි සිටි වෙසමුණි පරපුරේ යක්ක ගෝත්‍රික රැජිණියකගේ(කුවිණියගේ) ද සහාය ඇතිවයි විජයග්‍රහණය කොට එහි රජකම් කළේ.  එසේ යක්ක ජාතිකයින් ඝාතනය කොට එහි රජකම් කරමින් සිටි ඔහු නැවතත් තම පියාගේ නගරයවූ මේ පණ්ඩුවිජයාගමට ආවේ තම වඩිමල් සොහොයුරා හා ඔහුගේ පුතු පැවිදි වූ පසුවයි. 
       මේ විජය හෙවත් පණ්ඩුවාසදේව රජුගේ සීයා සිංහහනු නම්වූ සීහ වංශයේ ආරම්භකවරයා විය හැකි අතර ඔහුගේ දෙමව්පියන් සිංහහනු පරපුරේම අයයි. නෑනා සහ මස්සිනා විවාහය මේ පරපුරේ විශේෂ ලක්ෂණයකි. සුද්ධෝදන-ප්‍රජාපතී, අමිතා-සුප්පබුද්ද, සිදුහත්-යශෝධරා වැනි නෑනා මස්සිනාලාගේ විවාහයන් ගැන ඔබ දන්නවා. ඉතින් ඒ පරපුරෙන්ම ආ මේ විජයගේ දෙමාපියන් වූ සිංහබාහු හා සිංහසීවලී ද එසේම වූ අය විය යුතුය.
       අප මේ සිංහ වංශයේ හෙළ ඉතිහාස පටලැවිල්ල බොහෝ ප්‍රවේශමෙන් ලිහාගත යුතුයි. මන්ද යත් එදා එකම හෙළ දිවයිනේ වෙන්ව පැවති ලංකාපුර රාජධාණිය හා ජම්බුද්වීපය දෙකක් සේ නොගෙන ජම්බුද්වීපය යනු ඉන්දියාව කියා වැරදියට ආරෝපණය කොට පසුකාලීනව ඉතිහාසය ලියන්නට ගොස් ඔවුන් දැන හෝ නොදැන අවුල් ජාලයක් සිදු කළ නිසයි.
      බුද්ධ පරිණිර්වාණයෙන් අවුරුදු 950කට පමණ පසු මහානාම හිමියන් විසින් ලංකාපුර රාජ නාමාවලියෙන් පමනක් පටන් ගෙන ලියූ ලංකා මහාවංශ කතාව වැරදියට ග්‍රහණය කර ගැනීම අද ගැටලු රාශියකට හේතුප්පන්නවී ඇත. එම මහාවංශ කතාව තුලද යම් යම් අඩුපාඩු සහගත තැන් පැවතීම වෙනම විසඳා ගත යුතු දෙයකි. අපගේ ජම්බුද්වීපය අලලා ලියූ රාජ නාමාවලිය දීප වංශයයි. දීප වංශ රාජාවලිය මහාසම්මත මනු රජුගෙන් පටන් ගෙන ලියන ලදී.
       එහෙත් යක්ක හෙළයේ ලංකාපුර සිටි අධ්‍යාත්මිකව එතරම් දියුණු තත්වයක නොසිටි ජනයාට ග්‍රන්ථ සාහිත්‍ය පිළිබඳ උනන්දුවක් නොවූවාහ. පසු කල ජම්බුදීපයේ(රජගහනුවර ) සිටි මිහිඳු මාහිමියන් එහි වැඩ රාජ්‍යානුග්‍රහය සහිතව බුදුදහම හා බුද්ධාගම එහි ස්ථාපිත කොට දියුණු ජන සමාජයක් බවට පත් කළාහ.
අප ගෝතම බුදුරදුන් පිරිනිවී ටික කාලයකට පසු ක්‍රමයෙන් ජම්බුද්වීපයේ හා දේව හෙලයේ සිටි රජ පරපුර අතුරුදන් වී ගියා. ඊට බළපාන ලද හේතුන් අතර පාළන තන්ත්‍රයේ බොහෝ දෙනෙකුන් ප්‍රවුජ්‍යා දිවියට යොමු වීමත්, සොළී වැනි ආක්‍රමණත්, අජාසත්ත වැනි පීතෲ ඝාතක පරපුරවල් සමූළ ඝාතනයට ලක්විමත් වැනි දේ විෂේශ හේතුන් ලෙස දැක්විය හැකිය.
      කෙසේ හෝ පඬුවස්නුවර රජකම් කල පණ්ඩුවාසදෙව් රජු හා භද්දකච්චායනා දෙදෙනාට ගිරිකණ්ඩශිව ඇතුලු පුතුන් 10 දෙනෙක්ද උන්මාදචිත්‍රා නමින් දුවක් ද වූවා. මේ උන්මාදචිත්‍රා කුමරිය තම දීඝායු මාමාගේ පුතුවූ දීඝගාමිනී අයියා සමග විවාහ වුනා. මේ දෙදෙනාට දාව උපන් පණ්ඩු කුමරා අභය නම් වුනා. කුඩා කළ සිටම සැඟවී සිටි මේ අභය කුමරා පසු කලෙක තම මාමාවරුන් ඝාතනය කොට පණ්ඩුකාභය නමින් රාජාභිෂේක ලැබ අනුරාධපුරයේ රාජධාණිය කරගෙන විසුවා.
      ඔහුට මුටසීව නම් පුතෙක්ද ඉන්පසු දේවානම්පිය තිස්ස කියා මුණුපුරෙක්ද වුනා.
එම කාළ සීමාවේදී දඹදිවට අයිති කොටසේ අබිසවෙර දේවිය හා තිස්ස රජුගේ පුත්වූ මහරජ අභය හෙවත් අශෝක නම් ප්‍රබල ධාර්මික රජෙකු සිටියා. බුදු සසුන නගා සිටුවිමට මහත් මෙහෙවරක් සිදුකල එම මහරජුගේ අනුග්‍රහයෙන්      මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන්  තුන්වන ධර්ම සංගායනාවක්ද පවත්වා ශාසන සංශෝධනයක් කළා. එතෙක් ධර්මය ව්‍යාප්ත නොවූ අනෙකුත් ප්‍රදේශ, රටවල් සඳහාද ධර්මප්‍රචාරක කණ්ඩායම් පිටත්කර හරිමින් වෙහෙර විහාරද ගොඩ නගමින් මුළු දිවයිනම ධර්මද්විපයක් බවට පත්කළා. එහිදී එම අශෝක රජුගේ පැවිදි පුතුවූ මහින්ද මහරහතුන් වහන්සේ ලංකාපුරයට වැඩ එහි ධර්මය ස්ථාපිත කොට දියුණු ජන සමාජයක් බවට පත් කළා.
      අප හෙළබිමේ සිටි මේ ධර්මාශෝක රජතුමා රජතුමා මුළු දිවයිනම දැහැමින් පාළනය කළ නිසා සමහරුන් එතුමා සක්විති රජෙකු වශයෙන්ද හැඳින්වූවා. ඉන්පසු මුලු දිවයිනම එකම ධජයක් යටතේ පාළණය වූ අතර දඹදිව හා ලංකාපුර කියා වෙන් වශයෙන් නැතිව මේ දිවයිනටම ලක්දිව නොහොත් හෙළදිව කියා ව්‍යවහාර කළා..
     මෙම කාළයට සමගාමීව මෙන් භාරත දේශය හෙවත් සින්ධු දේශයේදේවානම්පියදස්සී නම් ඇති යුධ කිරීමට ශූරයෙකු වූ චණ්ඩ වූ ප්‍රබල රජෙකු සිටියා. ඔහුගේ පියා බින්දුසාර නම් වූ අතර ඔහුගේ සීයා චන්ද්‍රගුත්ත නම් විය. එම කාලයේ භාරත දේශය මහා ඇලෙක්සැන්ඩර් රජු යටතේ වූ ග්‍රීකවරුන්ගේ අධිරාජ්‍යයක් විය. සෙලියුකස් නිකේටර් නම් ග්‍රීක සෙම්පතියාගේ දුවණිය වූ හෙලේනා විවාහ කරගත් චන්ද්‍රගුත්ත රජු භාරතයේ බලය නැවත ලබාගත් නමුදු නිතර යුධ ගැටුම් එහි දිගටම පැවතියා.
       මේ චන්ද්‍රගුත්ත රජුගේ මුණුපුරුවූ එමෙන්ම බින්දුසාර රජුගේ පුත්වූ දේවානම්පියදස්සී රජු චණ්ඩ යුධ ශූරයෙකුවූ අතර ඔහු කාලිංග වැනි මහා යුද්ධ ජනසංහාර කොට යුධ ජයග්‍රහණය කොට භාරත අධිරාජයා බවට පත්වුනා. එහෙත් ඔහුතුල කිසිඳු තෘප්තියක් නොවීය. මේ දේවානම්පියදස්සී රජුට හෙළදිව ජම්බුද්වීපයේ සිටි අශෝක රජුගේ ධර්මප්‍රචාරක පණිවුඩය ලැබුණා. යුද්ධ කොට කළකිරී සිටි දේවානම්පියදස්සී (දේවානම්පියතිස්ස) අධිරජු එම බුදුදහම ඉහළින්ම පිළිගත්තා..
         බුදුදහම වැළඳගත් මේ භාරත දේවානම්පියතිස්ස අධිරජු තම චණ්ඩත්වය පසෙක දමා දැහැමින් රාජ්‍ය පාළනය කරන්නට සිතා ගත්තා.. ඉන්පසු එතුමා භාරතය පුරා වෙහෙර විහාර සාදවා හෙළදිවට අනුරූපීව දඹදිවක් එහි නිර්මාණය කොට ජනතාවට වඳින්න පුදන්නට අවශ්ථාව උදා කළා. හෙළදිව පැවැති බුදුදහම ඇතුලු සියලු දේම වාගේ අනුකරණය කරමින් ධාර්මිකවූ එතුමාට පසුකලෙක ජනතාව කීවේ ධර්මාශෝක රජු කියායි.
       කෙසේ හෝ භාරතයට බුදුදහම පැමිනීමත් සමග විශාල වෙනස්කම් රැසක් එහි ඇතිවුනා. එවකට අධ්‍යාත්මිකව එතරම් දියුණු තත්වයක නොසිටි එරට දියුණු ජන සමාජයක් බවට ක්‍රමයෙන් පත් වුණා. ක්‍රමාණුකූළව ලියූ ඉතිහාසයක්වත් නොතිබූ ඔවුන් ග්‍රන්ථ සාහිත්‍ය පිළිබඳ උනන්දුවක් ඇති වුණා. ඔවුන් ඉන්පසු අධ්‍යාපන පැත්තෙන් කොතරම් දියුණු වූවාද කිවහොත් පසුව නාලන්දා වැනි විශාල අධ්‍යාපන ආයතන බිහිවුණා. විදෙස් රටවලින් පවා එහි අධ්‍යාපනය ලබන්නට බොහෝ අය පැමිණියා.  බු.ව. 900 පමණ වනවිට නාලන්දාවේ අධ්‍යාපනය ලබා මෙහි පැමිණි බුද්ධඝෝෂ වැනි ඉන්දීය භික්ෂුන් වහන්සේලා අපගේ හෙළ අටුවා ත්‍රිපිටක පොත්පත් පවා පාළියට පරිවර්ථනක කර ලියා තැබුවා. එසේම ඉන්පසු පැමිණි මහානාම වැනි හිමිවරුන්ද ඉතිහාස පොත් මෙහි පැමිණ ලියා තැබුවා.
       ඉන් සුලු කලකට පසු ඇතිවූ මහාවිහාර අභයගිරි ගැටුමේදී අභයගිරිකයන් විසින් දේශපාළන සහායද ඇතිව දිවයිනේ තිබූ සියලුම ත්‍රිපිඨක හා ඉතිහාසගත පොත්පත් ගෙන්වා මහාසෑය අභියස ඇතුන් හත් දෙනෙකුගේ උසට ගොඩ ගසා ගිනිතබා විනාශ කර දමන ලදී.. ඇත්තටම මෙය දේශපාළණික කුමන්ත්‍රණ යක්ද නැතිනම් අන් දෙයක්ද කියා සිතා ගන්නට තවමත් අපහසුය. කෙසේ හෝ ඉන් අනතුරුව බෞද්ධ අපට ඉතිරි වූයේ බුද්ධඝෝෂ හිමියන් විසින් ලියන ලද පෙළ පොත්පත් ටික හා පතංජලී, වෛදික භාෂා පොත්පත් ටිකයි. ඉන්පසුවයි සියල්ල අවුල් සහගත තත්වයට පත්වූයේ..
       මේ ලංකාපුර දේශය ගෝතම බුද්ධ කාලීනව අදට වඩා තරමක් විශාල භූමිභාගව තිබුණා. ඉන්දියාව පැත්තට වෙන්නට විශාලව තිබූ එම භූමිය බුද්ධ පරිණිර්වාණයෙන් පසු කාලයක ඇතිවූ මහා මුහුදු ගොඩ ගැලීමකින්(සුනාමියකින්) පසු නාග හෙළ දීපයට අයිති කොටසක් මුහුදට යට වුනා. අප බුදුරදුන් පහල වන්නට අවුරුදු 250කට පමණ ප්‍රථමත් ඊටත් වඩා විශාලව තිබූ ලංකාපුර තවත් විශාල කොටසක් මුහුදු ගොඩ ගැලීමකින් යටවී ගියා. එනම් ඒ රාම රාවණ යුධ ගැටුම් පැවති කාලයේදීයි.
        කාශ්‍යප බුදුරදුන් පිරිණිවී කාලයක් ගියපසු රාවණ නමින් චක්‍රවර්ති රජ පරපුරක් ලංකාපුර සිටියා. එහි විශ්‍රවස් මුණිවරයා අවසන් සක්විති රජු වුනා. විශ්‍රවස් මුණිවරයාගේ පියා පුලස්ති සෘෂිවරයා වූ අතර එතුමන්ගේ පුතු වූයේ 8 වන රාවණ රජුයි. ඔහුගේ චක්‍රවර්ති බලය පිරිහී ගියා..
         එවකට මේ විශාල හෙළ දිවයින දේවහෙළ හා ලංකාපුර වශයෙන් කොටස් දෙකකින් යුත්ත වූවා. දේවහෙළයේ දසරථ රජු අයෝද්‍යා නුවර රජකම් කළ අතර මේ රාවණ පරපුරේ 8 වන රාවණ රජු සිටියේ ලංකාපුර කියන කොටසේයි. එවකට දකුණු ඉන්දියාවට කිට්ටු වෙනකම්ම වාගේ මේ ලංකාපුර හෙළ භූමිය පැවතියා. ඒ සීයල්ලේම පාළකයා වූයේ එම රාවණ අසුර රජුමයි.
      එවිට රාම රජු සිටියේ කොහේද? ඇත්තම කියනවනම් රාම රජු සිටියේ අප දිවයිනේ දේවහෙළ කොටසේ පිහිටි අයෝද්‍යා නුවරයි. ඔහුගේ පියා දසරථ රජුයි. රාම කුමරා ලංකා කොටසට ගොස් ඒ අසුර රාවණ රජු සමග යුධ වැදුනා. ප්‍රදේශ දෙකේ ඇතුවූ කිසියම් දේශපාළනික ගැටලුවක් නිසා රාවණ රජු විසින් රාම කුමරුගේ පෙම්වතිය වූ සීතා කුමරියව පැහැරගෙන ප්‍රාණ ඇපයක් වශයෙන් සිරකොට තබා ගැනීමයි යුද්ධයට මූළික හේතුවක් වූයේ.
      එම යුද්ධයේදී රාම කුමරුට සහාය දැක්විමට ඉන්දියාවේ සිට වානර නම් යක්ක හමුදාවක්ද මුහුදෙන් පාළමක් සාදාගෙන ලංකාපුරට ආවා. රාවණ රජුගේ සොයුරෙකු වූ කැළණිය ප්‍රදේශයේ සිටි විභීෂන රජුගේ සහායද රාම කුමරුට හිමි වුනා. එම ලංකාවේ කොටසක් තමයි ඒ කාළයේ මුහුදට ගිලා බැස්සේ.  
කෙසේ හෝ එම රාවණ අසුර රජුගේ වියෝවෙන් පසු ඉන්ද්‍රජිත් රජු ලංකා අසුර කොටසේ පාළනය කළා. එහිදී එම රාවණ රජුන්ගේ සොයුරන් වන කුවේර, විභීෂණ, කුම්භකර්ණ ආදීන්ගෙන් යක්ක, නාග, කුම්භණ්ඩ ආදී වෙනම රාජ්‍යයන් බිහිවී වෙනම පාළණය වුනා. ජම්බුද්වීපය හා දේවහෙළය වෙනම එකට පිහිටියා. 
      කෙසේ හෝ අප ගෝතම බුදුන් වහන්සේගේ කාළය වන විට යක්ක හෙළ හෙවත් ලංකාපුර කොටස වෙස්සවන මහ රජුගේ පාළණය යටතේ පැවති අතර ජම්බුද්වීපයේ ජනපද 16ක් පමණ වෙන වෙනම රජ වරුන් යටතේ පාළනය වුනා. එහි තිබූ කිඹුල්වත් පුරයේ තමයි සිදුහත් කුමරුගේ පියාවූ සුද්ධෝදන රජුත් සිටියේ. ඉන් ඉහළ දේව හෙළයේ පුරවල දේවයන් වහන්සේලා සිටියා..
      එහෙනම් මේ සියලු රජවරු හිටියේ ඉන්දියාවේද? නැත. මේ අප උපන් හෙළබිම සියලු බුදුවරු උපන් දේශයමයි… අද අපේ සමහර අය විවිධ මනස්ගාත හේතූන් නිසා දැන හෝ නොදැන මුළාවී අපේ මහා වීර මීමුත්තන්ට පයින් ගසමින් ඔවුන්ව ඉන්දියාවට තල්ලු කරමින් සිටිති.
      මේ රටට යහපතක් වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි
මේ රටේ ඉතිහාසය යලි නිවැරදි වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි
මේ රටේ අනාගත පරපුර රටට ආදරය කරන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි
මේ රට නැවත බුදුන්ගේ දේශය වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි
උතුම් ලක් මවගෙන් ජනිතවූ  සුජාත, අතිජාත, සජාත, අනුජාත වැදගත් හොඳ දරුවන් මෙන්ම පාළක වරුත්, පූජක වරුත් නින්දෙන් නැගිට ඇස් ඇර බලත්වා...
        මටත් අනෙක් අයටත් ටික දෙනෙක් බනියි. ඒත් ගොඩාක් දෙනෙක් මෙතනින් ගොඩ යයි. කාලයක් පටන් ලියන්න කියා හිතන් සිටි දේවල් ගොඩක් මේ වන විට මා හෙළ සමාජයට කියල පෙන්වල දීල තියෙනවා.. මේ උතුම් හෙළ මව් රටට මා නය ගැති නෑ කියා සිතෙන මගේ සිත දැන් ටිකක් නිදහස්.. මේ හෙළ රටට හොඳ හෙළ පරපුරක් නැවතත් ඉක්මනින්ම බිහිවනු ඇතයි මා විශ්වාස කරනවා... තෙරුවන් සරණයි...

බුදු දහමේ සඳහන් ලෝකය හටගැන්මේ කතාව...



      මෙම පෝස්ට් එකේ මූලික අරමුණ නම් ලෝකය දෙස භෞතිකවූ ඇසකින් පමණක් බලා මිත්‍යා මත වලට එල්බගෙන ඒවා කරපින්නා නොයා මධ්‍යස්ථව නුවණැසින් සිතා බලා කුඩා කල සිට ඔලුවට බාහිර පරිසරයෙන් ඔලුවට ඇතුලුවූ වැරදි මත මුලිනුපුටා විචක්ෂණව ඉදිරියට යා යුතු බව පෙන්වාදීමයි.
එනිසා සමාජයීය ප්‍රාමාණික තීරන වලින් පමණක් හුදෙක් මේ යථාර්ථය වටහාගත නොහැකි බව මනාව සිහිකොට ගත යුතුවෙනවා.. අප නිබඳවම සම්මතයෙන් ඔබ්බට සිතා මධ්‍යස්ථව සිට කරුණු කාරණා වටහා ගැනීමයි වඩාත්ම උචිත වන්නේ.
      එනිසා මා හඳ දෙසට ඇඟිල්ල දිගු කරනා විට ඔබ ඒ දෙස නොබලා මාගේ ඇගිල්ල දෙස බලා සිටියහොත් මූලික ප්‍රස්තුතය වටහා ගන්නට නොහැකි වෙනවා. ඉතා සංෂිප්ත ලෙස මේ ලොකාරම්භය ගැන මෙසේ පෙන්වා දෙන්න පුලුවන්. සියුම්වූ භූත රූපී කොටස් වල එකතුවකින් සකස්වූ අවකාශ ලෝකයේ, අවිද්‍යාව නිසා මම කියා උපාදාන කර ගන්නාවූ සත්වයෙක් උපතක් ලබනවා. එම සත්ව සිරුරද සකස් වන්නේ ඉතා සියුම්වූ භූත රූපී කොටස් වල හෝ ඝණවූ භූත රූපී කොටස් වල එකතුවකින්මයි. එම රූපයෙහි හැඩය හෝ සියුම්/ඝණ ආදී බාවයන් නිර්මාණය වන්නේ කිසියම් චිත්ත ශක්ති විෂේශයකට අනුකූලවයි. (මෙම හේතුපල ක්‍රියාවලිය භෞතිකව පමණක් සිතා වටහාගත නොහැක්කකි).
     කෙසේ හෝ මේ නාම හා රූපී කොටස් එකතුවකින් සකස්වන සත්ව ලෝකය තුල පහත සඳහන් සත්වයින් සකස් වන බව මූලිකව තේරුම් ගන්න ඕනි. මෙය මෙහෙම තේරුම් ගන්න බලන්න. මෙය හරියට යමෙක් තේරුම් ගතහොත් ඔහු මහත් ප්‍රඤ්ඤාවන්තයෙකු වෙනවාමයි.
*.ඝන වූ මාංශ කයක් ඇති සාමන්‍ය අපට පෙනෙන මනුස්සයො ඉන්නව. (මනුස්ස(අසුර), රාක්ෂ,යක්ෂ)
*.සියුම් වූ කයක් ඇති සාමන්‍ය අපට නොපෙනෙන මනුෂ්‍යයො ඉන්නව. (භූත(අසුර), රාක්ෂ, යක්ෂ)
*.ඝන වූ මාංශ කයක් ඇති සාමන්‍ය අපට පෙනෙන දෙවියෝ ඉන්නව. (සම්මත දේව(සුර), රාම, සක්කස්ස දේව වැනි)
*.සියුම් වූ කයක් ඇති සාමන්‍ය අපට නොපෙනෙන දිව්‍යයෝ ඉන්නව. (උප්පත්ති දේව(සුර+අසුර)  - සදිව්‍යලෝක වල ඉන්න දෙවිවරු)
*.ඝන වූ මාංශ කයක් ඇති සාමන්‍ය අපට පෙනෙන අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සත්වයෝ ඉන්නව.
*.සියුම් වූ කයක් ඇති සාමන්‍ය අපට නොපෙනෙන අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සත්වයෝ ඉන්නව.
*. භෞතික වශයෙන් සහ මනෝරූපීයමය වශයෙන් යන දෙයාකාරයෙන්ම සකස්වී ඇති දේවලෝක-දිව්‍යලෝක, මනුස්සලෝක-අමනුෂ්‍යලෝක ආදිය තිබෙනවා.
        හොඳයි ඔය කරුණු 7 පිළිබඳව ඔබ මනා විශ්ලේශනයක් කළහොත් මහා අවුල් ගොඩකින් මිදෙන්න පුලුවන්. මේ ලෞකික සම්මා දිට්ඨියේ වැදගත්ම තැනක්. මේතන ලිහා ගත්තොත් ඉන් එහා හරිම සරලයි. යමෙක් මේවා සියල්ලම භෞතිකව පෙන්වන්න කියල කියනවනම් එයාලට ඉතින් අඤ්ඤං සරණං තමයි. තෙරුවන් සරණක් එයාලට පිහිටීමක් නෑ. මොකද ලෞකික සම්මා දිට්ඨියේවත් පිහිටල නැති නිසායි..
       මෙලොව ජීවත් වන මිනිසුන් මරණින් පසු නැවත උපතක් නියතවම ලබනව (අරහතුන් හැර). ඒ උපදින අය අතරින් විශාල කොටසක් උපදින්නේ නිරය, තිරිසන්, ප්‍රෙත, අපාඅසුර කියන සතර අපායේමයි. තව සුළු කොටසක් නැවත මිනිස් ලොවමද, සදිව්‍යලෝක තල වලද, බ්‍රහ්ම ලෝක තල වලද කර්මානුකූලව උපදිනු ලබනව.
       මේ අයගෙන් ඝන වූ ශරීර ඇතිව (පියවි ඇසට පෙනෙන ආකාරයෙන්) උපදින්නේ මිනිස් ලෝකයේ, සම්මත දේවලෝකයේ හා තිරිසන්(පක්ෂි උරග ජලජ සිව්පා ඇතුළුව) ලෝකයේ උපදින අය පමණයි. අනෙකුත් (බ්‍රහ්ම ලෝක තල 4ක හැර) සියල්ලෝම උපදින්නේ අපගේ පියවි මිනිස් ඇසට නොපෙනෙන ආකාරයෙන් සියුම් වූ ශරීරයක් සහිතවය. මෙසේ සියුම් වූ ශරීර සහිතව උපදින සියල්ලන්ම උපදිනුයේ ඕපපාතිකවමය. එනම් මව් කුසක් නොමැතිවය.
       මෙහිදී අප සෑම කෙනෙකුම මරණින් මතු උපදින ස්ථානයන් පිළිබඳව නිසි අවබෝධයක් ගත යුතුම වෙනව. එවිටයි අපට මේ ලෝකය කුමක්දැයි නිසියාකාරව අවබෝධ වන්නේ. මේ මරණින් මතු උපදින අයගෙන් සමහරෙකු ජීවත්ව සිටිය තත්වයට වඩා පහළ තත්වයකටත්, සමහරෙකු සම තත්වයකටත්,  සමහරෙකු ඉහළ තත්වයකටත් අනුව උපදිනව. එය සිදුවන්නේ තමන් පෙර කළ හෝ මෙකළ කරන ලද කර්ම ශක්තීන්ට අනුරූපවමයි. 
      ලොව සිටින්නාවූ සියලු දෙනාම සංඛාර කරමින් යන බව ගමන කෙළවර නොකළහොත් මරණින් පසුව පියවි ඇසට නොපෙනෙන ආකාරයෙන් සියුම් වූ ශරීරයක් සහිතව හෝ ඝන වූ ශරීරයක් සහිතව උසස් පහත් ස්ථාන භේදයකට අනුව කිසියම් තැනෙක උපදිනු ලබනව. ඝන වූ ශරීරයක් ඇති අය සම්මත දේව ලොව, මිනිස් ලොව හා තිරිසන් ලොව (පක්ෂි උරග ජලජ සිව්පා සහිත) උපදින අය බවත් අප තේරුම් ගත යුතුයි. එමෙන්ම සියුම් වූ ශරීර ඇතිව සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන අය නිරය, ප්‍රේත, අසුර, භූත, දිව්‍ය, බ්‍රහ්ම ලෝකවල ඕපපාතිකව උපදින බවත් තේරුම් ගත යුතුයි.
      කෙසේ හෝ මෙසේ පවතින සත්ව ලෝකය හා අවකාශ ලෝකය කාලයක් යන විට කල්පාවසානයේ ජලයෙන්, ගින්නෙන්, සුළඟින් ආදී ක්‍රමවලින් විනාශ වී යනවා. එහිදී ඝණවූ ශරීර ඇති එකම සත්වයෙකුදු ඉතුරු වන්නේ නැහැ.. එනමුත් ඒ සියුම් නාම රූපී ශක්තීන්, විශ්වයේ කිසියම් සථරයක(ආභස්සර බඹලොව) තැම්පත් වෙනවා.. සියුම් වූ ශරීර ඇති ඔවුන්ට අපි බ්‍රහ්මයින් කියා කියමු.
     මෙසේ බොහෝ කාලයක් ගිය පසු නැවත පෘථුවි ලෝකය සකස් වෙනවා.. අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් පරිදි ආභස්සර බඹ ලොවෙන් සියුම් වූ ශරීර සහිතව පැමිණි බ්‍රහ්මයෙක්, පෘතුවි පංචකාම රසයට තණ්හා උපාදානය වී ඇලී වාසය කළා. තන්හාව නිසා ඔවුන්ගේ ශරීර ඝණ භාවයට ක්‍රමයෙන් පත් වී ගියා. කල් යත්ම තවත් අය එලෙසින්ම එක්වුනා. මුලින් තනිව බ්‍රහ්මව සිටි මේ අය, දෙදෙනෙක් සමග එකතුවී දේව වුනා.. මේ දේව වූවන් පංචකාමයම උසස් කොට උතුම් කොට සැලකුවා.. ඔවුන්ගේ එක්වීමෙන් දරු පරපුරක් හටගත්තා..
     කල් යත්ම මේ පිරිසෙන් සමහර අය තව තවත් රාගයෙන් තන්හා වී අධාර්මික වැඩ කරන්නට වුනා.. සමහරු විෂම ලෝබය,රාගය, ද්වේෂය නිසා අනුන්ගේ වස්තුව සොරකම් කරන්නටත්, අන්සතු දේ උදුරා ගන්නටත්, අන් අයට හිංසා කරන්නටත්, බොරු කියන්නටත්, රාගයෙන් මත්වී කටයුතු කරන්නටත් පුරුදු වුනා..
    ඉතින් ධාර්මිකවූ ගුණයහපත් වූ අය එක් රැස්වී මේ අධාර්මික ක්‍රියා පාළනය කරන්නට අවශ්‍ය නිසා, වැරදි කරන්නන්ට දඬුවම් කළ යුතුයැයි කවුරුත් ඒකමතිකව සම්මත කොට ගෙන, ප්‍රජාව පාළනය කරන්නට පුද්ගලයෙකු පත් කළා. රාගය පාළනය කරන්නාවූ ඔහු රාජ වුනා. මහාසම්මතයෙන් පත් කොටගත් ඒ පළමු රජු මනු නම් වුනා.. ඉන්පසු ඒ දේව වූ අයට අමතරව පාළන තන්ත්‍රයේ කටයුතු කරන අයට මනුස්සකියා ව්‍යවහාර කළා.. මෙසේ මහා රාජ යටතේ අනෙකුත් ප්‍රාදේශීය රජවරුද පත් කරනු ලැබුවා. දැන් දේව හා මනුස්ස කියා දෙපිරිසකි.
     මේ දේවවරු 'රා' කියන්නාවූ පංචකාමයම උතුම් කොට 'සු' කියා ගත් නිසා 'සුර' වුනා..  මේ පංචකාමය අසුවයි නින්දිතයි කියා ඒවා පාළනය කරන අය අසුරවුනා.. මෙසේ සුර අසුර හෙවත් දේව මනුස්ස පිරිසක් බිහිවූ අතර, මේ දෙපිරිස අතර අදහස්මය වශයෙන් නොයෙක් අවශ්ථාවල යුධ ගැටුම් හට ගත්තා.. ඇත්තටම කියනවානම් මේ කියනුයේ  රාගයට බර දේව හා ද්වේෂයට බර අසුර අයගේ රාග ද්වේෂ ගැටුමම නොවේදැයි ඔබම වටහා ගන්න.. මෙම සුර අසුර ගැටුම කාම භූමියේ සදාකල්ම පවතින්නක්මය.
      මෙම ගැටුම සමතයට පත් කරන්නට කාළාණුරූපීව යුගයෙන් යුගයට සක්විති රජවරු හා බුදුවරු කාම ලොව පහළ වන්නාහ. යමෙක් මේ සියලූම රා‍ය්‍යයන්ට ප්‍රධානව මේ හෙළ දිවයිනේ ඇති මුළු මිනිස් ලොවම දසරාජ ධර්මයෙන් පාළනය කරන්නට සමත් වූවානම් ඔහුට සක්විති මහා රාජකියා එදා කියනු ලැබුවා..
     එමෙන්ම කාම ලොව සිටින දෙව් මිනිස් දෙපිරිසටමත් අමතරව රූපි බඹ ලොවටත් ආධිපතිත්වය දරණු ලබන්නේ බුදුවරුම පමණයි. එහෙනම් දෙවියන් සහිත, මිනිසුන් සහිත, බඹුන් සහිත වූ, භෞතික ඝණ රූපීව සකස්වුණු ලෝක වලටත්, අභෞතිකව සියුම්වූ මනෝරූපීමය වශයෙන් සකස් වුනු ලෝක වලටත් කියන්නාවූ මේ සියලු ලෝක තලයන්ටම නායක වන්නේ ලොව්තුරා බුදුවරුන්ම පමණක්මයි.. ඒ අති උත්තම බුදුවරු ලෞකිකවූ දුකෙන් මිදෙන මගත් සියලු ලෝක 31ක් තලයෙන්ම එතෙරවන, ලෝකෝත්තර මගත් දේශනා කරන්නාහ.. මෙතෙක් ලොව පහළවූ සියලු බුදුවරුන්ගේ සත්‍යයේ ගුණානුභාව බලයෙන් ඔබට සද්ධර්මය අවබෝධ වේවා...

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...