මොකක්ද මේ නිකාය භේදය?

     නිකාය කියන වචනයට අර්ථ හැටියට කොටස, සමූහය, පඞ්ක්තිය, නික්ෂය වගේ අදහස් ගම්‍ය වෙනවා. දීඝ නිකාය, මජ්ඣිම,නිකාය, සංයුත්ත නිකාය, අඞ්ගුත්තර නිකාය වගේ තැන්වලදී නිකාය වශයෙන් ගත්තේ සූත්‍ර පිටකයේ කොටස් වලටය. පසුව දර්ශන මතවාදයන් මුල් කරගෙනද නිකායන් වලට වෙන් වුනා. සංඝ සමාජයද විවිධ නිකාය බෙදීම් වලට ලක්වුනා. මෙම නිකාය භේදය ඇතිවූයේ කිනම් කාලයකදී දැයි නිශ්චිතව කිව නොහැකි නමුත් දීපවංශයට අනුව එය දෙවන ධර්ම සංඝායනාව අවසන්වු වහාම සිදුවිය.
     නිකාය භේදය හටගත්තේ ස්ථිවර හා මහාසාංඝික යන කොටස් දෙක අතරය. මෙම දෙපාර්ශවයේම ජනශ්‍රැති එකිනෙකට වෙනස් අදහස් දක්වයි. ථේරවාදි ග්‍රන්ථයන් වන දීප වංශයට අනුව දෙවන ධර්ම සංඝායනාවේ ඇති වූ මතභේදයේ දී පරාජයට පත් වූ පිල විරෝධය දැක්වීමක් වශයෙන් වෙන්ව ගොස් මහා සාංඝික ලෙස නිකායන් පිහිටුවා ගත් බව කියයි.
මහාසාංඝික ග්‍රන්ථයන්හි සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහරහතන් වහන්සේලා පන්සීයක් පිරිනිවන් පෑ බවත් ඒ නිසා සංගායනාව සිදු කළ බවත්ය.
      කෙසේ හෝ ඉන් පසුවත් තව තවත් කොටස් වලට නිකායන් බෙදී ගියා.. මුල් යුගයේදී මෙම මතවාද විනය නිසා හටගත් අතර විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරන භික්ෂුන් වහන්සේලා එකම ආරාමයේ සමගිව විසුහ. නමුත් ක්‍රි.ව. 100 දී පමණ ආගමික කරුණු මුල් කරගෙන මතභේද හටගැනීම ආරම්භ විය.
බුද්ධ කාලයේදීම ආරම්භ වුණූ සංඝයා අතර බෙදීම බුද්ධ පරිනිර්වාණයෙන් පසුව වැඩි වුණා මිස අඩු වුණේ නැහැ. පළමුවැනි ධර්ම සංගායනාව පවත්වන අවධිය වනවිට සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස්, මුගලන් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස්, කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස් යනාදී ආකාරයට කණ්ඩායම් වශයෙන් භික්ෂූන් වහන්සේලා බෙදිලා සිටියා. සැරියුත්, මුගලන්, කාශ්‍යප ආදී බුදුරජාණන් වහන්සේට පක්ෂපාතී, උන්වහන්සේගේ මාර්ගය අනුගමනය කරපු පිරිසක් වගේම දෙව්දත්, චබ්බග්ගිය ආදී බුදුරජාණන් වහන්සේට විරුද්ධව ක්‍රියා කරපු පිරිසකුත් සිටියා.
      ඒ වගේම දෙවන ධර්ම සංගායනාවෙන් පසු මහාදේව නැමැති භික්ෂූව රහතන් වහන්සේලා හෙළා දකිමින් ඉදිරිපත් කළ මත පහක් නිසාත් සංඝ ශාසනයේ බෙදීමක් ඇති වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මහාදේව හාමුදුරුවන්ගේ මත පහට පක්ෂපාතීවූවන් මහායාන ලෙසත් එම මතවලට විරුද්ධවූවන් ථෙරවාදී ලෙසත් හැඳින්වූවා. ඉන් නොනැවතී තුන්වැනි ධර්ම සංගායනාවෙන් පසු භික්ෂු ශාසනය නිකාය 18 කැඩුණා. ඒ වගේම තුන්වැනි ධර්ම සංගායනාවෙන් පසු බුදු දහම හෙළදිවෙන් පිටතට ව්‍යාප්ත වුණා.
හෙළදිවෙන් පිටතට බුදු දහම ව්‍යාප්ත වීමෙන් පසුව ඒ ඒ ජන සමාජයට, සංස්කෘතියට, ඇදහිලි ක්‍රමවලට, පරිසර පද්ධතීන්ට ඔරොත්තු දෙන පරිදි බුදු දහම සකස් කරගත්තා. ලංකාව, තායිලන්තය වැනි රටවල ථෙරවාද බුදු දහම පැවතුනා.
    ථෙරවාද, මහායාන යන නිකාය දෙකම බුදුරජාණන් වහන්සේගේ නිවන පිළිගත්තත් මේ නිකාය දෙකේ යම් යම් වෙනස්කම් තිබුණා. නිර්වාණයට බුදුවිය යුතුමයි කියලා මහායානිකයන් විශ්වාස කළා. ඒ වගේම ඔවුන්ගේ මතය වන්නේ බුදුවරු පිරිනිවන් පාන්නේ නැති බවයි.
පාරමිතා, අරහත්බව, බුදු පසේ බුදු යනාදියත් මහායානික භික්ෂූන් ප්‍රතික්ෂේප කළා. ඔවුන්ගේ දර්ශනයට අනුව බෝධිසත්වවරුන් වගේම බෝධිසත්වවරියනුත් සිටියා. නමුත් ථෙරවාදී නැතහොත් හීනයානිකයන්ගේ අදහස මීට වෙනස්. ඔවුන් බුදු, පසේ බුදු, මහරහත් යන තත්වයන් පිළිගන්නවා.
     ලංකා පුරයට මහින්දාගමනයෙන් පසුව මහා විහාරය මුල් කරගෙන එහි ධර්මය ප්‍රචාරය වුණා. විශේෂයෙන් මහාවිහාරිකයන් විනයට ඇලුම් කළා. ‘විනයෝ නාම සාසනස්ස ආයෝ' විනය ශාසනයේ ආයුෂ බව ඔවුන් විශ්වාස කළා. විවිධ රජවරු මහාවිහාරවාසීන්ට උදව් උපකාර කළා.
වලගම්බා රජුගේ කාලයේ විශාල නියඟයක් ආවා. ඒ කාලේ රජතුමාට උදව් උපකාර කළේ මහාතිස්ස හාමුදුරුවෝ. පසුකාලීනව උන්වහන්සේට කළගුණ සැලකීමක් ලෙස එදා නිගණ්ඨයන් වාසය කළ ගිරි ආරාමය විනාශ කර රජතුමා ආරාමයක් ඉදි කර පූජා කළා.
     එයට මහාවිහාරීය භික්ෂූන් විරුද්ධ වුණා. නමුත් මහාතිස්ස හාමුදුරුවන්ගේ ශිෂ්‍ය තිස්ස හිමියන් ගුරුවරයා නිවරැදි යැයි පවසා අභයගිරියට පැමිණියා. ඒ අනුව කි.පූ. පළමුවැනි සියවසේ සිට අභයගිරි පරම්පරාවකුත් ඇති වුණා. නමුත් මහා විහාරය හා අභයගිරිය එදා තිබුණේ විශ්ව විද්‍යාල මට්ටමේ ආයතන ලෙසයි‍.
ඒ වගේම පසුකාලීනව ජෝතිවන කියන ප්‍රදේශයේ ඉදි කළ ආරාමයක් හේතුවෙන් ජේතවන නමින් නිකායක්ද ආරම්භ වුණා. නමුත් මහා විහාරිකයින් සම්ප්‍රදාය වෙනස් කළේ ‍නැහැ. ජේතවන, අභයගිරි, නිකායිකයන් බෝධි පූජා ආදියට මුල්තැන දුන්නා.
     එක් දහස් අටසිය ගණන්වලදී ඇතිවූ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ හේතුවෙන් භික්ෂූ ශාසනය පිරිහුණා. එදා උපසම්පදා භික්ෂුවක්වත් සිටියේ නැහැ. ඒ නිසා එවකට සිටි රජුගේ මූලිකත්වයෙන් වැලිවිට සරණංකර හාමුදුරුවෝ තායිලන්තයෙන් උපසම්පදාව ගෙන්වූවා.
සියම් දේශයෙන් ගෙනා උපසම්පදාව නිසා ශ්‍යාමෝපාලිවංශික මහා නිකාය ආරම්භ වුණා. සියම් නිකායට එක පිරිසක් පමණක් සීමා වුණ නිසා නැවත බුරුමයේ රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව ගෙන ආවා. එයින් රාමඤ්ඤ නිකාය ආරම්භ වුණා. අමරපුරයෙන් උපසම්පදාව ගෙන ඒමෙන් පසු අමරපුර නිකාය බිහි වුණා.
ඉතින් මේ නිකාය භේදය සංඝ සමාජයට කොතරම් සුදුසු ද කියාත් විමසා බලමු.
     බුදු හාමුදුරුවෝ බෙදීම අනුමත කළේ නැහැ. නමුත් මේ නිකාය භේදයේ හොඳ නරක දෙකම තිබෙනවා. මහායාන, ථෙරවාද නිකාය දෙකේ මත දෙකක් තිබුණත් ධර්මය පිළිබඳ මේ නිකාය අතර මතවාදයක් නැහැ.
පිරිත් දේශනාවලදී තුන් සූත්‍රය දේශනා කිරීම, චතුරාර්ය සත්‍යය, ධර්මය පිළිබඳ නම් මේ නිකායන් අතර එතරම් ගැ‍ටලුවක් නැහැ. බුදු හාමුදුරුවෝ දේශනා කළේ ‍ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය ‍වගේම ශුද්‍ර කුලවල අයටත් නිර්වාණය අවබෝධ කරගන්න කිසිදු බාධාවක් නොමැති බවයි. සිංහල බෞද්ධ වගේම ඕනෑම ජාතියකට, ආගමකට අයත් පුද්ගලයෙකුට බුදු දහම කෙරෙහි පැහැදීමක් තිබෙනවා නම් ශාසනයට ඇතුළු වෙන්න පුලුවන්.
කෙසේ නමුත් බෙදීම අයහපත් දෙයක්. ලංකාවේ භික්ෂූන්ගේ චීවරය විවිධාකාරයි. අද පළාත්, නිකාය, උඩරට, පහතරට ආදී විවිධාකාරයෙන් බෙදී සිටින භික්ෂූන් වහන්සේලාට සාමූහිකව එකතුවෙන්න ක්‍රමවේදයක් අවශ්‍යයි.
     අද භික්ෂූන් වහන්සේලා නිකාය වශයෙන් නොව මතවාදී වශයෙනුත් බෙදිලා. මේ බෙදීම නිසා විවිධ මතවාද ඉදිරිපත් වෙනවා. එම මතවාද ජාත්‍යන්තරයටත් යනවා. එයින් අපේ සංඝ සමාජය පිළිබඳ ජනතාව තුළ මැවෙන්නේ වැරදි චිත්‍රයක්. ඒ නිසා කිසියම් මතවාදයක් සමාජගත කරද්දී නිකාය තුනේම මහනායක, අනුනායක ආදී ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා ඒකරාශී වී පොදු මතයක් ඉදිරිපත් වෙනවා නම් ඉතාමත් හොඳයි.
    එසේ නොමැතිව එක් එක් භික්ෂූව විවිධ මත ඉදිරිපත් කිරීමට යාමෙන් සිදුවන්නේ අපේ භික්ෂූ සමාජය තව තවත් හෑල්ලුවට ලක්වීමයි. දැන් පහසුවෙන් නිකාය වෙනස් කරන්න අපිට අමාරු බව ඇත්තක්. එය කාලයක් තිස්සේ මුල් බැසගත් දෙයත්. නමුත් අපිට පොදු එකඟතාවයකට එන්න බාධාවක් නැහැ. පොදු බවක් හදා ගත්තොත් රට යහමඟට ගන්න, විවිධ ගැටලුවලට මැදිහත් වෙන්න භික්ෂූන් වහන්සේලාට ඉතා පහසුයි. එවිට ඉදිරිපත් වන්නේ සමස්ත සංඝ සමාජයේ පොදු මතයයි.
      කොහොම හරි අපේ රට යටත් කරගෙන හිටිය සුද්දොත් දැනගත්ත අපේ හාමුදුරුවරු ඉන්නකම් එයාලට මේ රට කරන්න ලේසි නෑ කියල. මොකද හැමදේකටම හාමුදුරුවරු තමයි එදා ඉදිරියට එන්නේ. ඉතින් සුද්දො පොඩි සටකපට වැඩක් කලා. එදා හාමුදුරුවරුන්ට දුන්න පොඩි ඉනාවක්. නායක පට්ටම්, අනුනායක කම්, විහාරාධිපති කම් දීල අපේ හාමුදුරුවරුන්ව අන්දල ගැටයක් ගැහුව. හාමුදුරුවන් අතර මාන්නය උස්සල, ලොකු පොඩි භේදය හදල පංගුබේරු තරඟ හැදෙව්ව. එයාල අපේ ඉතිහාසගත අධ්‍යාපන ක්‍රමය වෙනස් කරල ඔවුන්ගේ අදහස් අපේ අයගෙ ඔලුවට දැම්ම.. ඉතින් ධර්මපාල තුමා කියපු විදියට ශුද්ද දුන්නේ ඉනාවක් නොවේද කියල බලන්න කාලය දැන් ඇවිත්..
     (සමහරවිට සමහරුන් මේව කියන අපිට වෙනත් තැනකින් අල්ලල පතුරු යනකම් බනින්නත් පුලුවන්.. ඒත් ඇත්ත පෙන්වල පැත්ත ගියත් කමක් නෑනේ. ඇත්තටම මහ සඟරුවනට වරදක් වුනානම් සමාව අයදිනවා.. )
අද සියල්ලන්ම එක්ව සැබෑ බුද්ධ ඉතිහාසය තෝරා බේරා ගත යුතුයි. දඹදිව යන්න ඉන්දියාවට ආදේශ වුනු වැරදි තැන් සොයාගෙන ඒවා නිවැරදි කර ගත යුතුයි. එයට සියලු නිකායික මහා සංඝරත්නය එක්වී පුද්ගලික වාසි නොතකා සැබෑ සත්‍ය ලොවට විදහා දැක්විය යුතුයි..
මහ සඟ රුවන එක්වී හෙළදිව යලි පිරිසිදු බුදු දහම ස්ථාපිත කරත්වා..

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive